Skip to content

පටුනට යන්න

8වෙනි පාඩම

ආබ්‍රහම් සහ සාරා දෙවිට කීකරු වුණා

ආබ්‍රහම් සහ සාරා දෙවිට කීකරු වුණා

බාබෙල් නුවරට කිට්ටුවෙන් ඌර් කියලා නගරයක් තිබුණා. එහේ මිනිස්සු යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැහැ. වෙන වෙන දෙවිවරුන්ටයි නමස්කාර කළේ. ඒත් යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරපු කෙනෙක් එහේ හිටියා. ඒ ආබ්‍රහම්.

යෙහෝවා දෙවි ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘ඔයාගෙ ගෙදරයි නෑදෑයොයි දාලා මං පෙන්නන දේශයට යන්න.’ ඊටපස්සේ දෙවි මෙහෙම පොරොන්දු වුණා. ‘ඔයාගෙන් ලොකු ජාතියක් ඇති වෙනවා. ඔයා නිසා පොළොවේ ඉන්න හුඟක් මිනිසුන්ට මං ආශීර්වාද කරනවා.’

යෙහෝවා දෙවි ආබ්‍රහම්ව යවන්නේ කොහෙටද කියලා එයා දැනගෙන හිටියේ නැති වුණත් එයා යෙහෝවා දෙවිව විශ්වාස කළා. එයයි එයාගේ බිරිඳ සාරායි එයාගේ තාත්තා ටේරායි ලොත් කියන එයාගේ නෑදෑයයි එයාලගේ බඩු ලෑස්ති කරගෙන දුර ගමනක් යන්න පටන්ගත්තා.

යෙහෝවා දෙවි පොරොන්දු වුණු දේශයට එයාලා එද්දී ආබ්‍රහම්ට වයස 75යි. ඒ දේශයට කිව්වේ කානාන් කියලා. එහෙදී යෙහෝවා දෙවි ආබ්‍රහම්ට මේ පොරොන්දුවත් දුන්නා. ‘ඔයාට පේන මේ දේශය මං ඔයාගේ ළමයින්ට දෙනවා.’ ඒත් ඒ වෙද්දී හුඟක් වයසට ගිහින් හිටිය ආබ්‍රහම්ටයි සාරාටයි දරුවන් හිටියෙ නැහැ. එහෙනම් යෙහෝවා දෙවි ඒ පොරොන්දුව ඉටු කරන්නේ කොහොමද?

‘ආබ්‍රහම් තුළ තිබූ විශ්වාසය නිසා තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු තම කීකරුකම පෙන්නුම් කළේය. තමන් කොතැනට යනවාද කියා නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය.’—හෙබ්‍රෙව් 11:8