Skip to content

පටුනට යන්න

10වෙනි පාඩම

ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්

ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්

ආබ්‍රහම්ගේ නෑදෑයෙක් වුණු ලොත් ජීවත් වුණෙත් ආබ්‍රහම් එක්ක කානාන්වලමයි. ඒ දෙන්නටම හුඟක් සත්තු හිටිය නිසා ප්‍රදේශයේ ඉඩ මදි වුණා. ඒ නිසා ආබ්‍රහම් ලොත්ට මෙහෙම කිව්වා. ‘අපිට දිගටම එක තැනක ඉන්න බැහැ. ඔයා පැත්තක් තෝරගෙන යන්න. මම අනිත් පැත්තට යන්නම්.’ ආබ්‍රහම් ඒ වෙලාවේ හිතුවේ එයා ගැන නෙවෙයි ලොත් ගැනයි.

සොදොම් නගරය ළඟ තිබුණු ලස්සන දේශයක් ලොත් දැක්කා. ඇති තරම් වතුර, තණකොළ තිබුණු ඒ දේශය තෝරගෙන එයාලා එහේ පදිංචි වුණා.

සොදොම් නගරයෙත් ඒ ළඟම තිබුණු ගොමෝරා නගරයෙත් හිටියේ හුඟක් නරක මිනිස්සු. ඒ නිසා ඒ නගර දෙක විනාශ කරන්න යෙහෝවා දෙවි තීරණය කළා. ඒත් දෙවිට ඕන වුණා ලොත්වයි එයාගේ පවුලේ අයවයි බේරගන්න. ඒ නිසා දෙවි දේවදූතයෝ දෙන්නෙක්ව යවලා ලොත්ට මෙහෙම කිව්වා. ‘ඉක්මන් කරලා මේ නගරයෙන් යන්න! යෙහෝවා දෙවි මේක විනාශ කරන්නයි යන්නේ!’

ලොත් ඉක්මනට යන්නේ නැතුව පරක්කු වුණා. ඒ නිසා දේවදූතයන් එයාගෙයි එයාගේ බිරිඳගෙයි දුවලා දෙන්නගෙයි අතෙන් ඇඳගෙන නුවරෙන් එළියට ඇවිත් මෙහෙම කිව්වා. ‘දුවගෙන ගිහින් ඔයාලගේ ජීවිත බේරගන්න. පිටිපස්ස හැරිලා බලන්න එපා. එහෙම කළොත් ඔයාලා මැරෙයි.’

එයාලා ෂොවර් කියන නගරෙට ආවම යෙහෝවා දෙවි අහසෙන් ගින්දරයි ගෙන්දගමුයි එවලා සොදොම්, ගොමෝරා නගර දෙක විනාශ කළා. ඒ වෙලාවේ ලොත්ගේ බිරිඳ පිටිපස්ස හැරිලා බැලුව නිසා එයා ලුණු කණුවක් වුණා. ඒත් දෙවිට කීකරු වුණු නිසා ලොත්ටයි එයාගේ දුවලා දෙන්නටයි මුකුත් වුණේ නැහැ. ලොත්ගේ බිරිඳ අකීකරු වුණු නිසා ඒ තුන්දෙනාට ලොකු දුකක් දැනෙන්න ඇති. යෙහෝවා දෙවි කියන දේ අහන එක කොච්චර වටිනවද කියලා අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන්.

“ලොත්ගේ බිරිඳට සිදු වූ දේ කිසිවිටකත් අමතක කරන්න එපා.”—ලූක් 17:32