Skip to content

පටුනට යන්න

11වෙනි පාඩම

විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි

විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි

යෙහෝවා දෙවිට ආදරේ කරන්න, දෙවි දුන්න හැම පොරොන්දුවක්ම විශ්වාස කරන්න ආබ්‍රහම් ඊසාක්ට ඉගැන්නුවා. ඊසාක්ට වයස 25ක් වුණාම යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කරන්න අමාරුම දෙයක් කරන්න කිව්වා.

දෙවි ආබ්‍රහම්ට මෙහෙම කිව්වා. ‘ඔයාගේ එකම පුතාව අරගෙන මොරියා දේශයේ මම පෙන්වන කන්දට ගිහින් එයාව පූජා කරන්න.’ යෙහෝවා දෙවි එහෙම කරන්න කිව්වේ ඇයි කියලා ආබ්‍රහම්ට තේරුණේ නැහැ. ඒත් එයා යෙහෝවා දෙවිට කීකරු වුණා.

පහුවෙනිදා උදේ පාන්දරින්ම ආබ්‍රහම් ඊසාක්වයි තවත් සේවකයෝ දෙන්නෙක්වයි එක්කගෙන මොරියා දේශයට යන්න පිටත් වුණා. දවස් තුනකට පස්සේ මොරියා දේශයේ යන්න ඕන තැන එයාලා ඈත ඉඳලා දැක්කා. ආබ්‍රහම් සේවකයන්ට කිව්වා එයා ඊසාක් එක්ක ගිහින් පූජාව ඔප්පු කරලා එන කල් එතනට වෙලා ඉන්න කියලා. දර මිටිය ඊසාක්ට දීලා ආබ්‍රහම් පිහිය ගත්තා. එතකොට ඊසාක් ඇහුවා ‘තාත්තේ පූජා කරන සතා කෝ’ කියලා. ‘යෙහෝවා දෙවි අපිට ඒ සතාව දෙයි පුතේ’ කියලා ආබ්‍රහම් කිව්වා.

කන්දට ඇවිත් එයාලා පූජාසනයක් හැදුවා. ඊළඟට ආබ්‍රහම් ඊසාක්ගේ අත් දෙකයි කකුල් දෙකයි ලණුවකින් බැඳලා පූජාසනය උඩින් තිබ්බා.

ආබ්‍රහම් පිහිය ගත්තාම යෙහෝවා දෙවි දේවදූතයෙක් මාර්ගයෙන් මෙහෙම කිව්වා. ‘ආබ්‍රහම්! දරුවට මුකුත් කරන්න එපා! ඔයාගේ එකම පුතාව පූජා කරන්න හදපු නිසා ඔයාට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා මං දැන් දන්නවා.’ එතකොටම ආබ්‍රහම් දැක්කා පඳුරක බැටළුවෙක් පැටලිලා ඉන්නවා. ආබ්‍රහම් ඉක්මනටම ඊසාක්ගේ අත් කකුල් ලිහලා බැටළුවාව අරන් පූජා කළා.

එදා ඉඳන් යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කිව්වේ එයාගේ යාළුවා කියලයි. ඒ යෙහෝවා දෙවි කරන්න කියන ඕනම දෙයක් කරන්න ආබ්‍රහම් කැමති වුණ නිසයි. දෙවි එහෙම කියන්නේ ඇයි කියලා තේරුණේ නැතත් එයා ඒ දේ කළා.

යෙහෝවා දෙවි ආබ්‍රහම්ට වුණු පොරොන්දුව මතක් කරලා මෙහෙම කිව්වා. ‘මං ඔයාට ආශීර්වාද කරලා ඔයාගේ දරුවන්ගේ ගාණ වැඩි කරනවා.’ ආබ්‍රහම්ගෙන් පැවතෙන අය මාර්ගයෙන් හොඳ අය හැමෝටම ආශීර්වාද කරනවා කියලත් දෙවි පොරොන්දු වුණා.

“දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16