Skip to content

පටුනට යන්න

12වෙනි පාඩම

උරුමය ලැබුණේ යාකොබ්ට

උරුමය ලැබුණේ යාකොබ්ට

ඊසාක් රෙබෙකාව විවාහ කරගද්දී එයාට වයස 40යි. එයා රෙබෙකාට හුඟක් ආදරේ කළා. එයාලට පුත්තු දෙන්නෙක් හම්බ වුණා. ඒ දෙන්නා නිවුන්නු.

වැඩිමලා ඒසව්. බාල පුතා යාකොබ්. ඒසව් ආස වුණේ එළියට ගිහිල්ලා දඩයම් කරන්න. ඒත් යාකොබ් ආස වුණේ ගෙදර ඉඳන් වැඩ කරන්න.

ඒ කාලේ පවුලක තාත්තා මැරුණාම එයාට අයිති ඉඩම්වලින්, සල්ලිවලින් වැඩි කොටසක් දෙන්නේ වැඩිමල් පුතාට. ඒකට කියන්නේ උරුමය කියලා. ඊසාක්ගේ පවුලේ උරුමයට යෙහෝවා දෙවි ආබ්‍රහම්ට දුන්න පොරොන්දුත් අයිති වුණා. ඒසව්ට ඒ පොරොන්දු ගැන අගයක් තිබුණේ නැහැ. ඒත් යාකොබ් දැනන් හිටියා ඒ පොරොන්දු කොච්චර වටිනවද කියලා.

දවසක් ඒසව් දඩයමේ ගිහින් හුඟක් මහන්සි වෙලා ගෙදර ආවා. ඒ වෙලාවේ යාකොබ් රස කෑමක් උයඋය හිටියේ. ඒකේ සුවඳ දැනිලා ඒසව් යාකොබ්ට මෙහෙම කිව්වා. ‘මට බඩගිනියි. ඔය රතු පාට ව්‍යංජනයෙන් ටිකක් මට දෙන්න.’ එතකොට යාකොබ් මෙහෙම කිව්වා. ‘ඔයාට අයිති උරුමය මට දෙනවා කියලා පොරොන්දු වුණොත් මං ඔයාට කෑම දෙන්නම්.’ ඒසව් කිව්වේ මෙහෙමයි. ‘මට ඔය උරුමයෙන් වැඩක් නැහැ. ඒක ඔයා ගන්න. මට දැන් කන්නයි ඕනේ.’ ඒසව් කළේ හරි දෙයක් කියලා ඔයා හිතනවද? කෑම ටිකක් ගන්න එයා ගොඩක් වටින දෙයක් නැති කරගත්තා.

වයසට ගියාම ඊසාක්ට ඕන වුණා එයාගේ වැඩිමල් පුතාට ආශීර්වාද කරන්න. ඒත් රෙබෙකා ඒ ආශීර්වාදය යාකොබ්ට ගන්න උදව් කළා. ඒක ආරංචි වුණාම ඒසව්ට හුඟක් කේන්ති ගියා. එයාට ඕන වුණේ යාකොබ්ව මරන්න. යාකොබ්ව ආරක්ෂා කරගන්න ඕන නිසා ඊසාකුයි රෙබෙකායි යාකොබ්ට මෙහෙම කිව්වා. ‘අයියාගේ කේන්තිය අඩු වෙන කල් ඔයාගේ අම්මාගේ අයියාගේ ඒ කියන්නේ ලාබන්ගේ ගෙදරට වෙලා ඉන්න.’ යාකොබ් ඒකට කීකරු වෙලා ජීවිතේ බේරගන්න ගෙදරින් ගියා.

“ඇත්තෙන්ම මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් ඔහුට තම ජීවිතය අහිමි වුණොත් ඔහුට එයින් ප්‍රයෝජනයක් තිබෙනවාද? තමන් සතු සියල්ල දුන්නත් මිනිසෙකුට තම ජීවිතය බේරාගත හැකිද?”—මාක් 8:36, 37