Skip to content

පටුනට යන්න

14වෙනි පාඩම

දෙවිට කීකරු වුණු දාසයෙක්

දෙවිට කීකරු වුණු දාසයෙක්

යෝසෙප් කියන්නේ යාකොබ්ගේ බාලම පුතෙක්. යාකොබ් වැඩියෙන්ම ආදරේ කළේ යෝසෙප්ට. ඒ නිසා එයාගේ අයියලා යෝසෙප්ට ඊර්ෂ්‍යා කළා. කාලෙකට පස්සේ යෝසෙප් අමුතු හීන දකින්න පටන්ගත්තා. ඒ හීන ගැන යෝසෙප් අයියලට කිව්වම එයාලා හිතුවේ කවදා හරි හිස නමලා යෝසෙප්ට ආචාර කරන්න එයාලට සිද්ධ වෙයි කියලයි. ඒ නිසා එයාලගේ කේන්තිය තවත් වැඩි වුණා.

දවසක් යෝසෙප්ගේ අයියලා ෂීකෙම්වලට කිට්ටුවෙන් බැටළුවෝ බලාගෙන හිටියා. යාකොබ් යෝසෙප්ට කිව්වා ගිහින් අයියලව බලලා එන්න කියලා. යෝසෙප් ඈත එනවා දැකලා එයාගේ අයියලා මෙහෙම කතා වුණා. ‘අන්න එනවා හීන දකින්නා. අපි එයාව මරමු.’ එයාලා යෝසෙප්ව අල්ලගෙන ගැඹුරු වලකට දැම්මා. ඒත් යූදා කියන අයියා කිව්වා ‘අපි මෙයාව මරන්නේ නැතුව වහලෙක් විදිහට විකුණමු’ කියලා. පස්සේ එයාලා ඊජිප්තුවට යන මිදියන් ජාතික වෙළෙන්දන්ට රිදී ෂෙකෙල් 20කට යෝසෙප්ව වික්කා.

ඊටපස්සේ එයාගේ ඇඳුමේ එළුවෙක්ගේ ලේ ගාලා ඒක තාත්තා ළඟට ගෙනියලා ඇහුවා ‘මේ ඔයාගේ පුතාගේ ඇඳුම නේද’ කියලා. ඒක දැකලා යාකොබ් හිතුවේ කැලෑවේ සතෙක් යෝසෙප්ව මරන්න ඇති කියලයි. යාකොබ්ට ලොකු දුකක් දැනුණා. කාටවත් එයාව සනසන්න බැරි වුණා.

ඊජිප්තුවේදී යෝසෙප්ව වහලෙක් විදිහට විකුණුවේ බලවත් නිලධාරියෙක් වුණු පොතිෆර්ට. එහෙදිත් යෙහෝවා දෙවි යෝසෙප්ට උදව් කළා. පොතිෆර් දැක්කා යෝසෙප් හොඳට වැඩ කරන විශ්වාසවන්ත කෙනෙක් කියලා. ඒ නිසා පොතිෆර් එයාට අයිති දේවල් බලාගන්න යෝසෙප්ට භාර දුන්නා.

පොතිෆර්ගේ බිරිඳ දැක්කා යෝසෙප් හොඳ පෙනුමක් තියෙන ශක්තිමත් කෙනෙක් කියලා. එයා එක්ක නිදාගන්න එන්න කියලා හැම දවසකම එයා යෝසෙප්ට කරදර කළා. ඒත් යෝසෙප් මෙහෙම කිව්වා. ‘එහෙම කරන එක වැරදියි. මගේ ස්වාමියා මාව විශ්වාස කළා. ඔයා එයාගේ බිරිඳ. මේ වගේ දෙයක් කරනවාට යෙහෝවා දෙවි කොහොමටවත් කැමති නෑ.’

දවසක් පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ගේ ඇඳුමෙන් ඇදලා එයා එක්ක නිදාගන්න කියලා බල කළා. ඒත් යෝසෙප් එතනින් පැනලා දිව්වා. පොතිෆර් ගෙදර ආවම බිරිඳ කිව්වා යෝසෙප් එයාට කරදර කරන්න හැදුවා කියලා. පොතිෆර්ට හුඟක් කේන්ති ගිහින් යෝසෙප්ව හිරේ දැම්මා. ඒත් යෙහෝවා දෙවි යෝසෙප්ව අමතක කළේ නැහැ.

“මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත.”—1 පේතෘස් 5:6