Skip to content

පටුනට යන්න

16වෙනි පාඩම

යෝබ් කියන්නේ කාටද?

යෝබ් කියන්නේ කාටද?

ඌෂ් දේශයේ යෙහෝවා දෙවිට නමස්කාර කරපු පොහොසත් කෙනෙක් හිටියා. එයාගේ නම යෝබ්. එයාට දරුවොත් හුඟක් හිටියා. එයා කරුණාවන්ත කෙනෙක්. දුප්පත් අයට, සැමියා මැරුණු අයට, අම්මලා තාත්තලා නැති දරුවන්ට එයා හුඟක් උදව් කළා. ඒත් එයා කොච්චර හොඳ වුණත් එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වුණා කියලා ඔයා හිතනවද?

සාතන් යෝබ් දිහා බලාගෙනයි හිටියේ. යෙහෝවා දෙවි සාතන්ට මෙහෙම කිව්වා. ‘මගේ සේවක යෝබ්ව ඔයා දැක්කද? එයා වගේ හොඳ කෙනෙක් මේ ලෝකෙම නෑ. එයා මං කියන දේ අහන, හරි දේ කරන කෙනෙක්.’ එතකොට සාතන් මෙහෙම කිව්වා. ‘ඔබ එයාව ආරක්ෂා කරලා ආශීර්වාද කරන නිසයි එයා ඔබට කීකරු වෙන්නේ. එයාට ඉඩකඩම්, සත්තු ඇති තරම් දීලා තියෙනවානේ. ඒ ඔක්කොම අරන් බලන්න එයා ඔබට නමස්කාර කරන එක නවත්තන්නේ නැද්ද කියලා.’ එතකොට යෙහෝවා දෙවි කිව්වේ මෙහෙමයි. ‘ඔයා යෝබ්ව පරීක්ෂා කරලා බලන්න. ඒත් එයාව මරන්න එපා.’ යෙහෝවා දෙවි එහෙම කිව්වේ ඒ පරීක්ෂණයෙන් යෝබ් ජය ගන්නවා කියලා දන්න නිසයි.

සාතන් යෝබ්ට ගොඩක් විපත් ගෙනාවා. ඉස්සෙල්ලම සෙබාවරු ඇවිත් යෝබ්ගේ ගොන්නුයි කොටළුවොයි හොරකම් කළා. ගින්නකින් බැටළුවෝ ටික විනාශ වුණා. කල්දිවරු ඇවිත් එයාගේ ඔටුවෝ බලාගත්ත අයව මරලා උන්ව හොරකම් කළා. යෝබ්ගේ දරුවෝ හැමෝම කෑම කකා ඉද්දී ගේ කඩන් වැටිලා එයාලා මැරුණා. යෝබ්ට ඒ දුක දරාගන්න හුඟක් අමාරු වුණා. ඒත් එයා යෙහෝවා දෙවිට නමස්කාර කරන එක නැවැත්තුවේ නැහැ.

සාතන්ට ඕන වුණා යෝබ්ට තවත් කරදර කරන්න. යෝබ්ගේ ඇඟ පුරාම තුවාල දැම්මා. ඒ හැම දෙයක්ම වුණේ ඇයි කියලා යෝබ් දැනගෙන හිටියේ නැති වුණත් යෙහෝවා දෙවිට නමස්කාර කරන එක එයා නැවැත්තුවේ නැහැ. දෙවි යෝබ් ගැන හුඟක් සතුටු වුණා.

සාතන් මිනිස්සු තුන්දෙනෙක්ව යෝබ් ළඟට යැව්වා. එයාලා යෝබ්ට මෙහෙම කිව්වා. ‘ඔයා වරදක් කරලා ඒක හංගනවා ඇති. ඒකයි දෙවි ඔයාට දඬුවම් කරන්නේ.’ එතකොට යෝබ් කිව්වා ‘මං කිසිම වරදක් කරලා නෑ’ කියලා. ඒත් ඊටපස්සේ ඒ හැම කරදරයක්ම ගේන්නේ යෙහෝවා දෙවි කියලා එයා හිතන්න පටන්ගත්තා. දෙවි එයාට අසාධාරණ විදිහට සලකනවා කියලත් එයා කිව්වා.

එයාලගේ කතාව අහගෙන හිටිය එලිහු මෙහෙම කිව්වා. ‘ඔයාලා වැරදියි. අපි හිතනවාට වඩා යෙහෝවා දෙවි උසස්. දෙවි කවදාවත් නපුරු දෙයක් කරන්නෑ. ඔහු හැම දේම දකිනවා. ප්‍රශ්නවලට මුහුණ දෙන අයට උදව් කරනවා.’

යෙහෝවා දෙවි යෝබ්ට මෙහෙම කිව්වා. ‘මං අහසයි පොළොවයි හදද්දී ඔයා කොහෙද හිටියේ? ඇයි ඔයා කියන්නේ මං සාධාරණ නෑ කියලා? දේවල් තේරුම්ගන්නේ නැතුවයි ඔයා කතා කරන්නේ.’ ඊටපස්සේ යෝබ් මෙහෙම කිව්වා. ‘මං වැරදියි. මං ඔබ ගැන අහලා තිබුණත් දැන් තමයි ඔබ ගැන හොඳටම දැනගත්තේ. ඔබට කරන්න බැරි දෙයක් නෑ. මට සමාවෙන්න.’

පරීක්ෂණය ඉවර වුණාම යෙහෝවා දෙවි යෝබ්ගේ ලෙඩේ හොඳ කළා. කලින් තිබුණට වඩා දේවල් දුන්නා. යෝබ් ගොඩක් කාලයක් සතුටින් ජීවත් වුණා. අමාරු වෙලාවලදී වුණත් දෙවි කියපු දේ අහපු නිසා යෝබ්ට යෙහෝවා දෙවි ආශීර්වාද කළා. මොන දේට මුහුණ දෙන්න වුණත් ඔයත් යෝබ් වගේ දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කරනවද?

“යෝබ් විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති අතර යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැනත් ඔබ දන්නහුය.”—යාකොබ් 5:11