Skip to content

පටුනට යන්න

18වෙනි පාඩම

ගිනි ගනිමින් තිබුණු පඳුරක්

ගිනි ගනිමින් තිබුණු පඳුරක්

මෝසෙස් මිදියන් දේශයේ අවුරුදු 40ක් ජීවත් වුණා. එහෙදී එයා විවාහ වෙලා දරුවොත් හිටියා. දවසක් මෝසෙස් සීනයි කන්ද ළඟ බැටළුවන් බලාගෙන ඉද්දී පුදුම දෙයක් දැක්කා. කටු පඳුරක් ගිනි ගන්නවා. ඒත් ඒක පිච්චෙන්නේ නැහැ. මෝසෙස් ඒක ළඟට ගියාම පඳුර අතරින් කෙනෙක් කතා කරලා මෙහෙම කිව්වා. ‘මෝසෙස්, තව ළං වෙන්න එපා. මේක ශුද්ධ තැනක්. ඒ නිසා ඔයාගේ පාවහන් ගලවන්න.’ දේවදූතයෙක් ලවා ඒ කතා කළේ යෙහෝවා දෙවි.

මෝසෙස් බය වෙලා එයාගේ මූණ වහගෙන ඉද්දී දෙවි මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරු දුක් විඳින හැටි මට පේනවා. මං එයාලව ඊජිප්තුවෙන් බේරගෙන හොඳ දේශයක් දෙනවා. ඊජිප්තුවෙන් එයාලව අරගෙන එන්න මං යවන්නේ ඔයාවයි.’ ඒක අහලා මෝසෙස් කොච්චර පුදුම වෙන්න ඇද්ද?

මෝසෙස් දෙවිගෙන් ඇහුවා ‘මාව එව්වේ කවුද කියලා ඇහුවොත් මං මොනවද කියන්නේ’ කියලා. එතකොට දෙවි මෙහෙම කිව්වා. ‘ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවි වන යෙහෝවා ඔයාව එව්වා කියලා කියන්න.’ පස්සේ මෝසෙස් ඇහුවා ‘මිනිස්සු මං කියන දේ ඇහුවේ නැත්නම් මොකද කරන්නේ’ කියලා. යෙහෝවා දෙවි එයා එක්ක ඉන්නවා කියලා පෙන්නන්න දෙවි මෝසෙස්ට කිව්වා එයාගේ සැරයටිය බිමට දාන්න කියලා. එතකොට ඒක සර්පයෙක් වුණා. මෝසෙස් සර්පයාගේ වලිගෙන් අල්ලද්දී සර්පයා ආයෙත් සැරයටියක් වුණා. ‘මේකම සෙනඟ ඉස්සරහා කළාම ඔයාව එව්වේ මං කියලා එයාලා තේරුම්ගනියි’ කියලා යෙහෝවා දෙවි කිව්වා.

‘මට දක්ෂ විදිහට කතා කරන්න බෑනේ’ කියලා මෝසෙස් කිව්වම දෙවි එයාට මෙහෙම කිව්වා. ‘කියන්න ඕන දේ මං කියලා දෙන්නම්. උදව්වට ඔයාගේ අයියා ආරොන්වත් දෙන්නම්.’ යෙහෝවා දෙවි උදව් කරනවා කියලා දැනගත්ත නිසා මෝසෙස් බිරිඳයි පුතාලයි එක්ක ඊජිප්තුවට ගියා.

“ඔබ කෙසේ කතා කළ යුතුද කියාවත් කුමක් කිව යුතුද කියාවත් සිතමින් කනස්සලු වෙන්න එපා. ඔබ කිව යුත්තේ කුමක්ද කියා ඔබට ඒ අවස්ථාවේදීම දැනගන්න ලැබෙයි.”—මතෙව් 10:19