Skip to content

පටුනට යන්න

19වෙනි පාඩම

පළවෙනි පීඩා තුන

පළවෙනි පීඩා තුන

වහලුන් විදිහට ඊශ්‍රායෙල්වරුන්ගෙන් ඊජිප්තුවරු හුඟක් වැඩ ගත්තා. යෙහෝවා දෙවි මෝසෙස්වයි ආරොන්වයි පාරාවෝ ළඟට යවලා මෙහෙම කිව්වා. ‘මට නමස්කාර කරන්න මගේ සෙනඟට පාළුකරයට යන්න ඉඩ දෙන්න.’ ඒත් පාරාවෝ හරිම ආඩම්බරෙන් කිව්වා ‘ඔය යෙහෝවා දෙවි කියන දේවලින් මට වැඩක් නෑ. මං එයාලට යන්න දෙන්නේ නෑ’ කියලා. ඊටපස්සේ පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ගෙන් තවත් වැඩියෙන් වැඩ ගත්තා. පාරාවෝට පාඩමක් උගන්වන්න හිතාගෙන යෙහෝවා දෙවි ඊජිප්තුවට පීඩා දහයක් ගෙනාවා. යෙහෝවා දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘පාරාවෝ මං කියන දේ අහන්නේ නෑ. උදේට එයා නයිල් ගඟ ළඟට එයි. එයා ළඟට ගිහින් කියන්න මගේ සෙනඟට යන්න දුන්නේ නැති නිසා නයිල් ගඟේ වතුර ලේ වෙනවා කියලා.’ මෝසෙස් ඒකට කීකරු වෙලා පාරාවෝ ළඟට ගියා. පාරාවෝ බලාගෙන ඉද්දී ආරොන් එයාගේ සැරයටියෙන් නයිල් ගඟට ගැහුවම මුළු ගඟේම වතුර ලේ වුණා. වතුර ගඳ ගහන්න පටන්ගත්තා. හැම මාළුවෙක්ම මැරුණා. ගඟේ වතුර බොන්නත් බැරි වුණා. ඒ වුණත් ඊශ්‍රායෙල්වරුන්ව යවන්න පාරාවෝ කැමති වුණේ නැහැ.

දවස් හතකට පස්සේ යෙහෝවා දෙවි මෝසෙස්ව පාරාවෝ ළඟට යවලා මෙහෙම කිව්වා. ‘ඔයා මගේ සෙනඟට යන්න දෙන්නේ නැත්නම් මුළු ඊජිප්තුවම මැඩියන්ගෙන් පිරෙයි.’ ඒත් පාරාවෝ ඒක ඇහුවේ නැහැ. ඒ නිසා ආරොන් එයාගේ සැරයටිය ඉස්සුවාම මුළු දේශයම මැඩියන්ගෙන් පිරිලා ගියා. ගෙවල්වලයි ඇඳවල් උඩයි කෑම කන භාජනවලයි හැම තැනම මැඩියන්. පාරාවෝ මෝසෙස්ට කිව්වා යෙහෝවා දෙවිට කියලා මේ පීඩාව නැවැත්තුවොත් ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නම් කියලා. යෙහෝවා දෙවි ඒ පීඩාව නැවැත්තුවා. මැරුණු මැඩියන් නිසා මුළු දේශයම ගඳ ගහන්න පටන්ගත්තා. ඒත් මේ වතාවෙත් පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැහැ.

යෙහෝවා දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘ආරොන්ගේ සැරයටියෙන් පොළොවට ගහන්න. එතකොට මුළු දූවිල්ලම වැලි මැක්කන් වෙයි.’ ටික වෙලාවකින් මුළු දේශයම වැලි මැක්කන්ගෙන් පිරිලා ගියා. පාරාවෝගෙම සෙනඟ ‘මේක දෙවිගෙන් ආපු පීඩාවක්’ කියලා කිව්වත් පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැහැ.

“මාගේ මහත් බලය හා ශක්තිය ගැන මම ඔවුන්ට දැනගැනීමට සලස්වන්නෙමි. එවිට මාගේ නාමය යෙහෝවා බව ඔවුන්ට අනිවාර්යයෙන්ම දැනගැනීමට සිදු වනු ඇත.”—යෙරෙමියා 16:21