Skip to content

පටුනට යන්න

22වෙනි පාඩම

රතු මුහුද දෙකට බෙදිලා!

රතු මුහුද දෙකට බෙදිලා!

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් ගියා කියලා දැනගත්ත ගමන්ම පාරාවෝ ආයෙත් වෙනස් වෙලා හමුදාවේ අයට මෙහෙම කිව්වා. ‘මගේ යුධ රථ ලෑස්ති කරන්න. අපි ඊශ්‍රායෙල්වරු පස්සෙන් යමු. අපරාදේ එයාලට යන්න දුන්නේ.’ ඊටපස්සේ පාරාවෝත් එයාගේ හමුදාවත් ඊශ්‍රායෙල්වරුන්ගේ පස්සෙන් ගියා.

දවල්ට වලාකුළකුයි රෑට ගින්නකුයි ඊශ්‍රායෙල්වරුන් ඉස්සරහින් යවලා යෙහෝවා දෙවි එයාලට පාර පෙන්නුවා. දෙවි එයාලව රතු මුහුද ළඟට අරන් ඇවිත් එතන කූඩාරම් ගහගන්න කිව්වා.

පාරාවෝගේ හමුදාව එනවා කියලා ඊශ්‍රායෙල්වරු දැක්කා. එක පැත්තක මුහුද. අනිත් පැත්තේ හමුදාව. ඊශ්‍රායෙල්වරු කොටු වෙලා. එයාලා මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘අපි මැරෙන්නයි යන්නේ. ඔයා අපිට ඊජිප්තුවේ ඉන්න දෙන්න තිබුණා.’ ඒත් මෝසෙස් එයාලට කිව්වා ‘බය වෙන්න එපා, යෙහෝවා දෙවි අපිව බේරගන්න හැටි ඔයාලා දකියි’ කියලා. මෝසෙස් ඇත්තටම යෙහෝවා දෙවිව විශ්වාස කළා නේද?

දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා එයාලගේ කූඩාරම් ගලවන්න කියලා. එදා රෑ දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරෙයි ඊජිප්තුවරු අතරෙයි වලාකුළ තිබ්බා. ඊජිප්තුවරුන්ගේ පැත්ත තද කළුවරයි. ඒත් ඊශ්‍රායෙල්වරුන් හිටිය පැත්තට එළිය තිබුණා.

යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා එයාගේ අත මුහුද පැත්තට දික් කරන්න කියලා. ඊටපස්සේ දෙවි මුළු රෑම ලොකු හුළඟක් එව්වා. එතකොට මුහුද දෙකට බෙදිලා පාරක් හැදුණා. දෙපැත්තේ වතුර තිබුණේ හරියට උස තාප්ප වගෙයි. ඊශ්‍රායෙල්වරු මිලියන ගාණක් ඒ මැද්දෙන් මුහුදේ එහා පැත්තට ගියා.

ඊජිප්තුවරුනුත් මුහුද මැදින් තිබුණු පාර දිගේ යන්න පටන්ගත්තා. එතකොට එයාලගේ හමුදා රථවල රෝද ගැලවුණා. ඒක කරන්නේ යෙහෝවා දෙවි කියලා දැනගත්ත සෙබළු මෙහෙම කිව්වා. ‘අපි දැන්ම මෙහෙන් යමු. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ පැත්තේ ඉඳන් සටන් කරනවා.’

යෙහෝවා දෙවි මෝසෙස්ට කිව්වා ‘ඔයාගේ අත මුහුද පැත්තට දික් කරන්න’ කියලා. එතකොටම දෙපැත්තේ තාප්ප වගේ තිබුණු වතුර ඊජිප්තු හමුදාව උඩට වැටුණා. පාරාවෝයි එයාගේ හමුදාවයි හැමෝම ගිලිලා මැරුණා. කවුරුත් ඉතුරු වුණේ නැහැ.

මුහුදේ අනික් පැත්තේ හිටිය ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ගීයක් කිව්වා. ‘යෙහෝවා දෙව්ගේ නාමේ උසස්ම නාමය වේ. ඔහු සතුරු හමුදා මුහුදට හෙළුවා.’ සෙනඟ ගීතිකා කියද්දී ගැහැනු අය නටන්නත් රබන් ගහන්නත් පටන්ගත්තා. නිදහස් වෙන්න ලැබුණු එක ගැන ඒ හැමෝම හුඟක් සතුටු වුණා.

‘එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන, “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද” කියා පවසමු.’—හෙබ්‍රෙව් 13:6