Skip to content

පටුනට යන්න

23වෙනි පාඩම

යෙහෝවා දෙවිට වුණු පොරොන්දුව

යෙහෝවා දෙවිට වුණු පොරොන්දුව

ඊජිප්තුවෙන් ඇවිත් මාස දෙකකට විතර පස්සේ ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟ කූඩාරම් ගහගත්තා. මෝසෙස්ට කන්ද උඩට එන්න කියලා යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. ‘මම ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්තා. එයාලා මට කීකරු වෙලා මං කියන විදිහට වැඩ කළොත් එයාලා මට අයිති විශේෂ සෙනඟක් වෙනවා.’ මෝසෙස් ඒ දේ ඊශ්‍රායෙල්වරුන්ට කිව්වම ‘යෙහෝවා දෙවි කියන ඕනම දෙයක් කරන්න අපි කැමතියි’ කියලා එයාලා කිව්වා.

මෝසෙස් ආයෙත් කන්දට ගියා. යෙහෝවා දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘තව දවස් තුනකින් මං ඔයාට කතා කරන්නම්. සීනයි කන්ද උඩට එන්න එපා කියලා සෙනඟට කියන්න.’ යෙහෝවා දෙවි කියපු දේවල් මෝසෙස් සෙනඟට කිව්වා.

දවස් තුනකට පස්සේ කන්ද උඩ තිබුණු කලු වලාකුළකුත් අකුණු ගහන විදිහත් ඊශ්‍රායෙල්වරු දැක්කා. ගොරවන සද්දෙත් හොරණෑ සද්දෙත් ඇහුණා. ඊටපස්සේ යෙහෝවා දෙවි ලොකු ගින්නකින් කන්දට ආවා. ඊශ්‍රායෙල්වරු බය වෙලා වෙව්ලන්න පටන්ගත්තා. මුළු කන්දම දෙදරලා දුමෙන් වැහුණා. හොරණෑ සද්දේ එන්න එන්නම වැඩි වුණා. ඊළඟට දෙවි මෙහෙම කිව්වා. ‘මං යෙහෝවා දෙවි. ඔයාලා මට හැර වෙන කිසි දෙවි කෙනෙකුට නමස්කාර කරන්න එපා.’

මෝසෙස් ආයෙත් කන්ද උඩට ගියාම යෙහෝවා දෙවි සෙනඟ නමස්කාර කරන්න ඕන විදිහ ගැනත් හැසිරෙන්න ඕන විදිහ ගැනත් නීති දුන්නා. මෝසෙස් ඒවා ලියාගෙන ඇවිත් සෙනඟට ඇහෙන්න කියෙව්වම ‘යෙහෝවා දෙවි කියන හැම දේම අපි කරනවා’ කියලා එයාලා පොරොන්දු වුණා. එයාලා ඒ දේ පොරොන්දු වුණේ යෙහෝවා දෙවිට. පොරොන්දු වුණු විදිහටම එයාලා කරයිද?

“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.”—මතෙව් 22:37