Skip to content

පටුනට යන්න

25වෙනි පාඩම

නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක්

නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක්

මෝසෙස් සීනයි කන්දේ ඉද්දී යෙහෝවා දෙවි එයාට කිව්වා තැනින් තැනට ගෙනියන්න පුළුවන් විදිහට විශේෂ කූඩාරමක් හදන්න කියලා. ඒකට කිව්වේ ශුද්ධ කූඩාරම කියලයි. දෙවිට නමස්කාර කරන්න ඒක ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන නිසයි දෙවි ඒක හදන්න කිව්වේ.

‘ශුද්ධ කූඩාරම හදන්න ඕන දේවල් දෙන්න කියලා සෙනඟට කියන්න’ කියලා යෙහෝවා දෙවි කිව්වා. ඊශ්‍රායෙල්වරු ළඟ රත්තරන්, රිදී, තඹ, වටිනා ගල් වර්ග, ආභරණ ගොඩක් තිබුණා. ලොම්, ලිනන්, සත්ව හම් වගේ දේවලුත් තිබුණා. එයාලා ඒ හැම දේම දුන්නා. අන්තිමේදී මෝසෙස්ට සිද්ධ වුණා ‘දැන් ඇති, තව ගේන්න එපා’ කියලා කියන්න.

ශුද්ධ කූඩාරම හදන්න දක්ෂ ගැහැනු, පිරිමි හුඟදෙනෙක් උදව් වුණා. ඒ දක්ෂතාවය එයාලට දුන්නේ යෙහෝවා දෙවි. සමහරු රෙදි වියන්න, රෙදි මහන්න උදව් වුණා. තවත් අය වටිනා ගල්වලින්, රත්තරන්වලින් සැරසිලි කරන්නත් ලී කැටයම් කරන්නත් උදව් වුණා.

සෙනඟ යෙහෝවා දෙවි කියපු විදිහටම ශුද්ධ කූඩාරම හැදුවා. ඒකෙ ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානය කියලා කොටස් දෙකක් තිබ්බා. ඒක වෙන් කරලා තිබ්බේ තිර රෙද්දකින්. අතිශුද්ධස්ථානයේ තමයි ෂිටිම් ලීවලිනුයි රත්තරන්වලිනුයි හදලා තිබුණු ගිවිසුම් පෙට්ටිය තිබුණේ. ශුද්ධස්ථානයේ රත්තරන් පහන් රුකකුයි මේසයකුයි සුවඳ දුම් ඔප්පු කරන්න පූජාසනයකුයි තිබුණා. එළියේ තඹවලින් හදපු වතුර භාජනයකුයි පූජාසනයකුයි තිබුණා. ගිවිසුම් පෙට්ටිය එයාලට උදව් වුණා එයාලා යෙහෝවා දෙවිට දීපු පොරොන්දුව මතක තියාගන්න. ඔයා දන්නවද ගිවිසුමක් කියන්නේ මොකක්ද කියලා? ගිවිසුමක් කියන්නේ විශේෂ පොරොන්දුවකට.

යෙහෝවා දෙවි පූජකයන් විදිහට සේවය කරන්න තෝරගත්තේ ආරොන්වයි එයාගේ පුතාලවයි. ශුද්ධ කූඩාරමේ වැඩ බලාගන්න වගකීමයි යෙහෝවා දෙවිට පූජා ඔප්පු කරන වගකීමයි භාර දුන්නේ එයාලට. අතිශුද්ධස්ථානයට යන්න අවසර තිබුණේ උත්තම පූජක ආරොන්ට විතරයි. එයා අවුරුද්දකට වතාවක් එතනට ගිහින් එයාගෙයි පවුලේ අයගෙයි මුළු ඊශ්‍රායෙල් සෙනඟගෙයි පව්වලට පූජාවක් ඔප්පු කළා.

ඊජිප්තුවෙන් ඇවිත් අවුරුද්දකට පස්සෙයි ඊශ්‍රායෙල්වරු ශුද්ධ කූඩාරම හදලා ඉවර කළේ. එදා ඉඳන් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එයාලට තැනක් ලැබුණා.

යෙහෝවා දෙවි ශුද්ධ කූඩාරම ගැන හුඟක් සතුටු වුණා. ඒකට උඩින් වලාකුළක් තියලා තිබුණා. වලාකුළ එතනින් උඩට යන්න පටන්ගත්තම ඊශ්‍රායෙල්වරු දැනගත්තා එයාලත් කූඩාරම ගලවගෙන ඉස්සරහට යන්න ඕනෙ කියලා. වලාකුළ නතර වුණු තැන එයාලත් නතර වුණා.

‘ඒ සමඟම සිංහාසනයෙන් නික්මුණු මහත් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත.”’—එළිදරව් 21:3