Skip to content

පටුනට යන්න

26වෙනි පාඩම

තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා

තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා

ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟින් පිටත් වෙලා කාදෙෂ් කියන තැනට ආවා. එතනදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘හැම ගෝත්‍රයකින්ම එක් කෙනා ගාණේ 12දෙනෙක් තෝරගන්න. මම ඔයාලට දෙන්න යන කානාන් දේශයේ තොරතුරු හොයලා බලන්න එයාලව යවන්න.’ මෝසෙස් 12දෙනෙක්ව තෝරගෙන මෙහෙම කිව්වා. ‘කානාන්වලට ගිහින් ඒක ගස් වැල් වැවෙන සරුසාර දේශයක්ද කියලා බලලා එන්න. එහේ ඉන්නේ ශක්තිමත් අයද නැද්ද කියලත් එයාලා ඉන්නේ කූඩාරම්වලද නැත්නම් නුවරවල්වලද කියලත් බලලා එන්න.’ යොෂුවා, කාලෙබ් එක්ක තව 10දෙනෙක් ඒ ගමන ගියා.

දවස් 40කට පස්සේ ඒ 12දෙනා අත්තික්කා, දෙළුම්, මිදි අරගෙන ඇවිත් මෙහෙම කිව්වා. ‘ඒක සරුසාර දේශයක්. ඒත් එහේ ඉන්නේ හරිම ශක්තිමත් මිනිස්සු. නුවරවල් වටේ උස තාප්ප තියෙනවා.’ එතකොට කාලෙබ් කිව්වා ‘අපිට ඒක ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්, අපි දැන්ම යමු’ කියලා. එයාටයි යොෂුවාටයි යෙහෝවා දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් අනිත් 10දෙනා කිව්වේ මෙහෙමයි. ‘එහේ ඉන්නේ යෝධයෝ වගේ මිනිස්සු. ඒගොල්ලන් එක්ක බලද්දී අපි නිකං තණකොළ පෙත්තන් වගේ.’

ඊශ්‍රායෙල්වරු බය වෙලා මෙහෙම කිව්වා. ‘ඇයි අපි කානාන්වලට ගිහින් නිකං මැරෙන්නේ? අපි අලුත් නායකයෙක්ව පත් කරගෙන ඊජිප්තුවට යමු.’ එතකොට කාලෙබුයි යොෂුවායි මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවිට අකීකරු වෙන්න එපා. යෙහෝවා දෙවි අපිව ආරක්ෂා කරයි.’ ඒත් සෙනඟ ඒක ඇහුවේ නැහැ. එයාලා යොෂුවාවයි කාලෙබ්වයි මරන්න හැදුවා.

යෙහෝවා දෙවි මොකද කළේ? දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘මං ඊශ්‍රායෙල්වරුන්ට මෙච්චර උදව් කරලත් එයාලා මට කීකරු වෙන්නේ නැහැ. ඒ නිසා එයාලා අවුරුදු 40ක්ම පාළුකරයේ ඉඳලා මැරිලා යයි. මං පොරොන්දු වුණු දේශයේ ජීවත් වෙන්න හම්බ වෙන්නේ එයාලගේ දරුවන්ටයි යොෂුවාටයි කාලෙබ්ටයි විතරයි.’

“ඇයි ඔබ මේ තරම් බය වෙලා? ඔබේ විශ්වාසය අඩු වෙලාද?”—මතෙව් 8:26