Skip to content

පටුනට යන්න

27වෙනි පාඩම

යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැහුවා

යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැහුවා

ටික කාලෙකට පස්සේ ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ඉද්දී කෝරා, දාතාන්, අබිරාම් කියන තුන්දෙනා එක්ක තවත් 250දෙනෙක් මෝසෙස්ට විරුද්ධව කැරලිගහන්න පටන්ගත්තා. එයාලා මෙහෙම කිව්වා. ‘අපිට දැන් ඔයාව එපා වෙලයි තියෙන්නේ. ඇයි ඔයා අපේ නායකයා වෙලා ඉන්නේ? ඇයි ආරොන් උත්තම පූජකයා වෙලා ඉන්නේ? යෙහෝවා දෙවි අපි එක්කත් ඉන්නවා.’ දෙවි ඒක දැක්කේ එයාලා දෙවිට විරුද්ධව කැරලිගහනවා වගෙයි.

මෝසෙස් කෝරාටයි එයාගේ පැත්තේ හිටපු අයටයි මෙහෙම කිව්වා. ‘හෙට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජන අරන් ශුද්ධ කූඩාරමට එන්න. යෙහෝවා දෙවි තෝරගෙන තියෙන්නේ කාවද කියලා දෙවිම පෙන්නයි.’

පහුවදා මෝසෙස්ව හම්බ වෙන්න කෝරායි 250දෙනායි ශුද්ධ කූඩාරමට ගියා. එතනදී එයාලා පූජකයෝ වගේ සුවඳ දුම් ඔප්පු කළා. එතකොට යෙහෝවා දෙවි මෝසෙස්ටයි ආරොන්ටයි කිව්වා ‘කෝරාගෙනුයි එයාගේ පැත්තේ ඉන්න අයගෙනුයි අයින් වෙන්න’ කියලා.

කෝරා ශුද්ධ කූඩාරම ළඟට ගියත් දාතානුයි අබිරාමුයි එයාලගේ පවුලේ අයයි ගියේ නැහැ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා කෝරාගේ, දාතාන්ගේ, අබිරාම්ගේ කූඩාරම් ළඟින් අයින් වෙන්න කියලා. හැමෝම එතනින් අයින් වුණා. දාතානුයි අබිරාමුයි එයාලගේ පවුලේ අයයි කූඩාරම්වලින් එළියට ඇවිත් හිටියා. එකපාරටම පොළොව දෙබෑ වෙලා එයාලව ඇතුළට වැටුණා. ශුද්ධ කූඩාරම ළඟ හිටපු කෝරායි 250දෙනායි ගින්නකින් විනාශ වුණා.

යෙහෝවා දෙවි මෝසෙස්ට මෙහෙම කිව්වා. ‘හැම ගෝත්‍රයකම නායකයන්ගෙන් සැරයටියක් ඉල්ලගෙන නායකයාගේ නම ඒකේ ලියන්න. ලෙවී ගෝත්‍රයේ නායකයාගේ සැරයටියේ ආරොන්ගේ නම ලියන්න. ඒවා ශුද්ධ කූඩාරමේ තියන්න. මං තෝරගන්න කෙනාගේ සැරයටියේ මල් පිපෙයි.’

ඊළඟ දවසේ මෝසෙස් ඒ සැරයටි අරන් ගෝත්‍රවල නායකයන්ට පෙන්නුවා. ආරොන්ගේ සැරයටියේ විතරක් මල් පිපිලා තිබුණා. ඉදුණු ආමන්ඩ් ගෙඩිත් තිබුණා. යෙහෝවා දෙවි උත්තම පූජකයා විදිහට තෝරගෙන තියෙන්නේ ආරොන්ව කියලා හැමෝම දැනගත්තා.

“ඔබ අතරෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට කීකරු වන්න. එලෙසම ඔවුන්ට යටත් වී සිටින්න.”—හෙබ්‍රෙව් 13:17