Skip to content

පටුනට යන්න

28වෙනි පාඩම

බූරුවෙක් කතා කරයි

බූරුවෙක් කතා කරයි

ඊශ්‍රායෙල්වරු පාළුකරයේ අවුරුදු 40ක් විතර හිටියා. එයාලා බලවත් නුවරවල් ගොඩක් අල්ලගත්තා. දෙවි පොරොන්දු වුණ දේශයට යන්න කාලය ඇවිල්ලයි තිබුණේ. ඒ වෙනකොට එයාලා හිටියේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණු මෝවබ් දේශය ළඟ. ඒ දේශයේ රජ වුණු බාලාක් ඊශ්‍රායෙල්වරු එයාගේ දේශයත් අල්ලගනියි කියලා බය වුණා. ඒ නිසා එයා බාලාම්ට කිව්වා මෝවබ්වලට ඇවිත් ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න කියලා.

ඒත් ‘ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එපා’ කියලා යෙහෝවා දෙවි කිව්ව නිසා බාලාම් ගියේ නැහැ. බාලාක් රජ ආයෙත් බාලාම්ට කිව්වා ‘ආවොත් ඔයා ඉල්ලන ඕනෙම දෙයක් දෙන්නම්’ කියලා. ඒත් බාලාම් ගියේ නැහැ. පස්සේ දෙවි බාලාම්ට කිව්වා ‘ඔයා ගිහින් මං කියන දේ විතරක් කියන්න’ කියලා.

බාලාම් එයාගේ බූරුවා පිටේ නැඟලා ගමන යන්න පිටත් වුණා. ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එපා කියලා යෙහෝවා දෙවි කිව්වත් බාලාම් හැදුවේ ඒක කරන්න. යන අතරමඟදී යෙහෝවා දෙවිගේ දූතයා තුන්පාරක්ම ආවත් බාලාම් දේවදූතයාව දැක්කේ නැහැ. ඒත් බූරුවා දැක්කා. ඉස්සෙල්ලම ඒ බූරුවා පාරෙන් අයින් වෙලා කෙතකට ගියා. ඊළඟට බූරුවා පාරේ අයිනටම ගියාම තාප්පෙක හැප්පුණා. ඒ නිසා බාලාම්ගේ කකුලත් තාප්පෙට තද වුණා. අන්තිමට බූරුවා පාර මැද ඉඳගත්තා. ඒ හැම වතාවෙම බාලාම් බූරුවාට කෝටුවකින් හොඳටම ගැහුවා.

ඊටපස්සේ යෙහෝවා දෙවි බූරුවාට කතා කරන්න හැකියාව දුන්නා. ඒ නිසා බූරුවා බාලාම්ගෙන් ඇහුවා ‘ඇයි ඔයා මට ගහන්නේ’ කියලා. බාලාම් කිව්වා ‘මාව විහිළුවකට ගත්තද, මගේ අතේ කඩුවක් තිබුණා නම් මම උඹව මරණවා’ කියලා. බූරුවා මෙහෙම කිව්වා. ‘අවුරුදු ගාණක් ඔයා ගමන් ගියේ මං එක්ක. කවදාවත් මං මෙහෙම කරලා තියෙනවද?’

එතකොට බාලාම් දේවදූතයාව දැක්කා. ‘ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න එපා කියලා යෙහෝවා දෙවි කිව්වා නේද’ කියලා දේවදූතයා ඇහුවාම බාලාම් කිව්වා ‘මං කළේ වරදක්. මං හැරිලා යන්නම්’ කියලා. ඒත් දේවදූතයා කිව්වා ‘ඔයා මෝවබ්වලට ගිහින් යෙහෝවා දෙවි කියන දේ විතරක් කියන්න’ කියලා.

බාලාම් පාඩමක් ඉගෙනගත්තද? නැහැ. එයා තුන්පාරක්ම ඊශ්‍රායෙල්වරුන්ට ශාප කරන්න හැදුවා. ඒත් යෙහෝවා දෙවි ඒ ශාප ආශීර්වාදවලට හැරෙව්වා. අන්තිමේදී ඊශ්‍රායෙල්වරු මෝවබ් දේශය අල්ලගෙන බාලාම්ව මරලා දැම්මා. බාලාම් පළවෙනි වතාවෙම යෙහෝවා දෙවි කියපු දේ ඇහුවා නම් හොඳයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

“විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න. මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”—ලූක් 12:15