Skip to content

පටුනට යන්න

29වෙනි පාඩම

යෙහෝවා දෙවි යොෂුවාව තෝරගත්තා

යෙහෝවා දෙවි යොෂුවාව තෝරගත්තා

අවුරුදු ගාණක්ම ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට හිටිය මෝසෙස් මැරෙන්න ළං වෙලයි හිටියේ. යෙහෝවා දෙවි එයාට මෙහෙම කිව්වා. ‘පොරොන්දු දේශයට ඊශ්‍රායෙල්වරුන්ව අරන් යන්නේ ඔයා නෙමෙයි. ඒත් මං ඔයාට ඒක බලන්න දෙන්නම්.’ මෝසෙස් යෙහෝවා දෙවිට කිව්වා සෙනඟව බලාගන්න අලුත් නායකයෙක්ව පත් කරන්න කියලා. එතකොට දෙවි මෙහෙම කිව්වා. ‘යොෂුවාට කියන්න මං එයාව තෝරගත්තා කියලා.’

මෝසෙස් සෙනඟට කිව්වා එයා තව ටික දවසකින් මැරෙන නිසා සෙනඟව පොරොන්දු දේශයට අරගෙන යන්න යෙහෝවා දෙවි තෝරගෙන තියෙන්නේ යොෂුවාවයි කියලා. මෝසෙස් යොෂුවාට කිව්වා ‘බය වෙන්න එපා. යෙහෝවා දෙවි ඔයාට උදව් කරනවා’ කියලා. ඊටපස්සේ මෝසෙස් නෙබෝ කන්දට නැග්ගාම යෙහෝවා දෙවි ආබ්‍රහම්ට, ඊසාක්ට, යාකොබ්ට පොරොන්දු වුණු දේශය එයාට පෙන්නුවා. ඊටපස්සේ එයා මැරුණා. එතකොට එයාට වයස 120යි.

යෙහෝවා දෙවි යොෂුවාට මෙහෙම කිව්වා. ‘යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා කානාන් දේශයට යන්න. මෝසෙස්ට උදව් කළා වගේ මං ඔයාටත් උදව් කරනවා. හැමදාම මං දුන්න නීතිය කියවන්න. ධෛර්යවත් වෙන්න. බය වෙන්න එපා. ගිහින් මං කියපු විදිහටම කරන්න.’

දවසක් යොෂුවා යෙරිකෝවේ තොරතුරු හොයලා බලන්න දෙන්නෙක්ව යැව්වා. එහෙදී වුණේ මොනවද කියලා ඊළඟ පාඩමෙන් බලමු. ඒ දෙන්නා ආයෙත් ඇවිත් කිව්වා කානාන්වලට යන්න මේ තමයි හොඳම කාලේ කියලා. ඊළඟ දවසේ යොෂුවා සෙනඟට කිව්වා කූඩාරම් ගලවගෙන යන්න ලෑස්ති වෙන්න කියලා. ගිවිසුම් පෙට්ටිය අරගෙන ඉස්සරහින්ම යන්න කිව්වේ පූජකයන්ට. එයාලා යොර්දාන් ගඟ ළඟට ආවාම ගඟේ වතුර ගංවතුර දාන තරමටම වැඩි වෙලයි තිබුණේ. ඒත් පූජකයන් වතුරට කකුල තිබ්බා විතරයි වතුර ගලන එක නතර වෙලා ගඟ හිදිලා ගියා. පූජකයෝ ගඟ මැදට ගිහින් හිටගත්තා. ඊශ්‍රායෙල්වරු හැමෝම ගඟෙන් එහා පැත්තට යන කල් එයාලා එතන හිටියා. රතු මුහුද ළඟදී යෙහෝවා දෙවි කරපු පුදුම දේ එදා සෙනඟට මතක් වෙන්න ඇතිද?

අවුරුදු ගාණකට පස්සේ ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ආවා. එයාලට එහෙ ගෙවල්, නුවරවල් හදන්න පුළුවන්. කෙත්වතු, මිදිවතු, පලතුරු වතු වවන්නත් පුළුවන්. ඒක කිරියෙන් පැණියෙන් ඉතිරෙන සරුසාර දේශයක්.

“යෙහෝවා දෙවි වන මම නිරතුරුවම ඔබට මඟ පෙන්වමි. වියළි දේශයක සිටින ඔබව මම තෘප්තියට පත් කරමි.”—යෙසායා 58:11