Skip to content

පටුනට යන්න

30වෙනි පාඩම

රාහබ් යෙහෝවා දෙවිව විශ්වාස කළා

රාහබ් යෙහෝවා දෙවිව විශ්වාස කළා

තොරතුරු හොයන්න යෙරිකෝවට ගිය දෙන්නා නතර වුණේ රාහබ්ගේ ගෙදර. යෙරිකෝවේ රජට ඒක ආරංචි වෙලා එයාලව අල්ලගන්න සෙබළුන්ව එව්වා. ඒත් රාහබ් ඒ දෙන්නාව වහලේ හංගලා සෙබළුන්ව වෙන පැත්තකට යැව්වා. ඊටපස්සේ රාහබ් ඊශ්‍රායෙල්වරුන් දෙන්නාට මෙහෙම කිව්වා. ‘මං ඔයාලට උදව් කරනවා. මොකද යෙහෝවා දෙවි ඔයාලගේ පැත්තේ කියලත් දෙවි මේ දේශය ඔයාලට දෙනවා කියලත් මම දන්නවා. මගේ පවුලේ අයව බේරගන්නවා කියලා මට පොරොන්දු වෙන්න.’

එතකොට ඒ දෙන්නා රාහබ්ට මෙහෙම කිව්වා. ‘ඔයාගේ ජනේලේ රතු ලණුවක් ගැටගහලා තියන්න. එතකොට ඔයාගේ ගෙදර ඉන්න හැමෝම බේරෙයි.’

ජනේලේ ගැටගහපු ලණුවක් දිගේ එයාලට පැනගන්න රාහබ් උදව් කළා. ඊටපස්සේ එයාලා කඳු තියෙන පැත්තකට ගිහින් දවස් තුනක් හැංගිලා ඉඳලා යොෂුවා ළඟට ගියා. පස්සේ ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා යෙරිකෝව අල්ලගන්න ලෑස්ති වුණා. යෙරිකෝව තමයි එයාලා අල්ලගත්ත පළවෙනි නගරය. දවස් හයක්ම නගරය වටේ එක සැරයක් ඇවිදින්න කියලා දෙවි කිව්වා. හත්වෙනි දවසේ හත්පාරක් ඇවිදින්න කිව්වා. ඊටපස්සේ පූජකයෝ හොරණෑ පිඹිද්දී සෙබළු හයියෙන් කෑගැහුවා. එතකොට නගරය වටේ තිබුණු ලොකු බිත්ති කඩාගෙන වැටුණා. ඒත් රාහබ්ගේ ගෙදරට මුකුත් වුණේ නැහැ. යෙහෝවා දෙවිව විශ්වාස කරපු නිසා රාහබුයි පවුලේ අයයි බේරුණා.

‘රාහබ් පණිවිඩකරුවන්ව සාදරයෙන් පිළිගෙන ඔවුන්ව වෙනත් මඟකින් පිටත් කර යැවූ පසු ඇයව ධර්මිෂ්ඨ තැනැත්තියක ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ඇගේ එම ක්‍රියාව නිසා නොවේද?’—යාකොබ් 2:25