Skip to content

පටුනට යන්න

32වෙනි පාඩම

නිර්භීත කාන්තාවන් දෙන්නෙක්

නිර්භීත කාන්තාවන් දෙන්නෙක්

හුඟ කාලයක් ඊශ්‍රායෙල් සෙනඟගේ නායකයා විදිහට වැඩ කරපු යොෂුවා වයස අවුරුදු 110දී මැරුණා. ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා. එයාලා යෙහෝවා දෙවිට කීකරු වුණේ නැති නිසා යෙහෝවා දෙවි කානානිවරුන්ගේ රජ කෙනෙක් වුණු යාබින්ට ඉඩහැරියා එයාලට කරදර කරන්න. එතකොට ඊශ්‍රායෙල්වරු ආයෙත් යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා. ඒ නිසා යෙහෝවා දෙවි බාරාක්ව එයාලගේ නායකයා විදිහට පත් කළා.

දෙබොරා කියන අනාගතවක්තෘවරිය යෙහෝවා දෙවි කියපු මේ පණිවිඩේ බාරාක්ට කිව්වා. ‘කීෂොන් නිම්නය ළඟ ඉන්න යාබින්ගේ හමුදාව ළඟට මිනිස්සු 10,000ක් එක්ක යන්න. එතනදී යාබින්ගේ හමුදාවේ අධිපතියා වන සිසෙරාව පරද්දන්න පුළුවන් වෙනවා.’ බාරාක් දෙබොරාට කිව්වා ‘ඔයාත් එනවනම් මං යන්නම්’ කියලා. එතකොට දෙබොරා මෙහෙම කිව්වා. ‘මං එන්නම්. හැබැයි ඔයාට සිසෙරාව මරන්න ලැබෙන්නේ නැහැ. යෙහෝවා දෙවි කිව්වා එයාව මරන්නේ ගැහැනු කෙනෙක් කියලා.’

දෙබොරා බාරාක්ගේ හමුදාවත් එක්ක තාබෝර් කන්දට ගිහින් සටනට ලෑස්ති වුණා. ඒ ගැන සිසෙරාට ආරංචි වුණාම එයාගේ යුධ රථත් අරන් ඒ ළඟ තිබුණු නිම්නයකට ගියා. දෙබොරා බාරාක්ට කිව්වා ‘අද තමයි යෙහෝවා දෙවි ඔයාට දිනුම දෙන්නේ’ කියලා. එතකොට බාරාක් සිසෙරාගේ හමුදාවත් එක්ක සටන් කරන්න එයාත් එක්ක හිටිය මිනිස්සු 10,000ත් එක්ක කන්දෙන් පහළට බැහැලා ගියා.

යෙහෝවා දෙවි කීෂොන් නිම්නයට ගංවතුරක් ගෙනාවා. ඒ නිසා සිසෙරාගේ හමුදා රථ මඩේ එරුණා. සිසෙරා එයාගේ හමුදා රථයෙන් බැහැලා දුවන්න පටන්ගත්තා. බාරාක් එයාගේ හමුදාවත් එක්ක සිසෙරාගේ හමුදාව පැරැද්දුවත් සිසෙරා බේරුණා. එයා දුවලා ගිහින් යායෙල් කියන ගැහැනු කෙනාගේ කූඩාරමේ හැංගුණා. යායෙල් එයාට කිරි බොන්න දීලා ගනකම් රෙද්දක් එයාගේ ඇඟට දැම්මා. මහන්සියෙන් හිටිය සිසෙරාට හොඳටම නින්ද ගියා. ඊටපස්සේ යායෙල් ලොකු ඇණයක් අරන් එයාගේ ඔළුවට ඇනලා එයාව මරලා දැම්මා.

බාරාක් සිසෙරාව හොයාගෙන ආවම යායෙල් කූඩාරමෙන් එළියට ඇවිත් මෙහෙම කිව්වා. ‘එන්න, ඔයා හොයන කෙනාව මං පෙන්නන්නම්.’ ඇතුළට ගියාම මැරිලා ඉන්න සිසෙරාව බාරාක් දැක්කා. සතුරන්ගෙන් ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්ත එක ගැන බාරාකුයි දෙබොරායි යෙහෝවා දෙවිට ගීතිකා කියලා ප්‍රශංසා කළා. ඊළඟ අවුරුදු 40දී ඊශ්‍රායෙල්වරුන්ට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.

“ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීහු විශාල හමුදාවක් මෙන් පිටත්ව එති.”—ගීතාවලිය 68:11