Skip to content

පටුනට යන්න

33වෙනි පාඩම

රූත් සහ නායොමි

රූත් සහ නායොමි

ඊශ්‍රායෙල් දේශයේ සාගතයක් ඇති වුණු නිසා නායොමි එයාගේ සැමියයි පුත්තු දෙන්නයි එක්ක මෝවබ්වලට ආවා. එහෙදී එයාගේ සැමියා මැරුණා. එයාගේ පුත්තු දෙන්නා රූත්වයි ඕපාවයි විවාහ කරගත්තා. කාලයක් යද්දී නායොමිගේ පුත්තු දෙන්නත් මැරුණා.

සාගතය ඉවර වෙලා කියලා දැනගත්තම නායොමි ආයෙත් ඊශ්‍රායෙලයට යන්න තීරණය කළා. නායොමි එක්ක රූත්, ඕපා ආවත් අතරමඟදී නායොමි එයාලට මෙහෙම කිව්වා. ‘ඔය දෙන්නා මගේ පුතාලටත් මටත් හොඳට සැලකුවා. දැන් මෝවබ්වලට ගිහින් ආයෙත් විවාහ වෙන්න.’ ඒත් එයාලා කිව්වා ‘අපි ඔයාට ආදරෙයි, ඔයාව දාලා යන්න බැහැ’ කියලා. ඒත් නායොමි දිගින් දිගටම යන්න කියලා කියපු නිසා ඕපා යන්න පිටත් වුණා. හැබැයි රූත් ගියේ නැහැ. ඒ නිසා නායොමි එයාට මෙහෙම කිව්වා. ‘ඕපා එයාගේ සෙනඟ ළඟටත් දෙවිවරුන් ළඟටත් යනවා. එයාත් එක්ක ආපහු ගෙදර යන්න. ගිහින් අම්මා එක්ක ජීවත් වෙන්න.’ ඒත් රූත් මෙහෙම කිව්වා. ‘මං ඔයාව දාලා යන්නේ නෑ. ඔයාගේ සෙනඟ මගෙත් සෙනඟ. ඔයාගේ දෙවි මගෙත් දෙවි.’ ඒ ගැන නායොමිට කොහොම හැඟෙන්න ඇද්ද!

ඒ දෙන්නා ඊශ්‍රායෙලයට එද්දී බාර්ලි අස්වැන්න කපන කාලය පටන් අරන්. ඒ නිසා බාර්ලි එකතු කරගන්න රූත් කෙතකට ගියා. ඒක අයිති රාහබ්ගේ පුතෙක් වුණු බෝවස්ට. රූත් නායොමිව දාලා යන්නේ නැතුව ආදරෙන් බලාගන්නවා කියලා එයාට දැනගන්න ලැබුණා. එයා සේවකයන්ට කිව්වා රූත්ට එකතු කරගන්න වැඩිපුර කරල් ටිකක් කෙතේ තියන්න කියලා.

එදා හවස නායොමි රූත්ගෙන් ඇහුවා ‘අද ඔයා කරල් ඇහිඳින්න ගියේ කාගේ කෙතටද’ කියලා. ‘බෝවස්ගේ කෙතට’ කියලා රූත් කිව්වම නායොමි මෙහෙම කිව්වා. ‘බෝවස් අපේ නෑදෑයෙක්. ඔයා දිගටම එයාගේ කෙතට යන්න. ඔයාට කරදරයක් වෙන එකක් නැහැ.’

අස්වැන්න කපන කාලය පුරාම රූත් ඒ කෙතේ කරල් ඇහිඳින්න ගියා. රූත් මහන්සි වෙලා වැඩ කරන ගුණයහපත් කෙනෙක් කියලා බෝවස්ට තේරුණා. ඒ කාලෙදී සැමියෙක් මැරෙද්දී එයාට පුතෙක් හිටියේ නැත්නම් නෑදෑයෙක්ට පුළුවන් වුණා එයාගේ බිරිඳව විවාහ කරගන්න. ඒ නිසා බෝවස් රූත්ව විවාහ කරගත්තා. එයාලට පුතෙක් ලැබුණා. එයාගේ නම ඕබෙද්. එයා තමයි දාවිත් රජගේ සීයා. නායොමිගෙ යාළුවන් සතුටින් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි ඔයාට ආදරෙන් සලකපු රූත්ව දීලා මුනුපුරෙක්වත් දුන්නා. යෙහෝවා දෙවිට ප්‍රශංසා වෙන්න ඕනේ.’

“සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.”—හිතෝපදේශ 18:24