Skip to content

පටුනට යන්න

34වෙනි පාඩම

ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කරයි

ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කරයි

ඊශ්‍රායෙල්වරු ආයෙත් වෙන දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ නිසා අවුරුදු හතක්ම මිදියන්වරු එයාලගේ සත්තු හොරකම් කළා, වගාවන් විනාශ කළා. එයාලා බේරුණේ ගුහාවලයි කඳුවලයි හැංගිලා. ඊශ්‍රායෙල්වරු එයාලව බේරගන්න කියලා යෙහෝවා දෙවිට කිව්වා. ඉතින් යෙහෝවා දෙවි ගිඩියොන් කියන තරුණයා ළඟට දේවදූතයෙක්ව යවලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි සෙනඟව බේරගන්න ඔයාව තෝරගෙන තියෙනවා.’ ගිඩියොන් කිව්වා ‘මං කොහොමද එයාලව බේරගන්නේ, මට ඒක කරන්න බැහැනේ’ කියලා.

ගිඩියොන්ව තෝරගත්තේ යෙහෝවා දෙවි කියලා එයා දැනගත්තේ කොහොමද? එයා ලොම් මිටියක් අරන් බිම තියලා යෙහෝවා දෙවිට මෙහෙම කිව්වා. ‘උදේට බිම පිනිවලින් තෙමෙන්නේ නැතුව ලොම් මිටිය විතරක් පිනිවලින් පෙඟිලා තිබුණොත් මං දැනගන්නම් ඔබයි මාව තෝරගත්තේ කියලා.’ පහුවදා උදේ බලද්දී බිම වේළිලා තිබුණත් ලොම් මිටිය හොඳටම පිනිවලින් පෙඟිලා තිබුණා. ඒත් ගිඩියොන් කිව්වා ඊළඟ දවසේ ලොම් මිටිය වේළිලා තියෙද්දී බිම විතරක් පොඟවලා තියන්න කියලා. ඒකත් ඒ විදිහටම වුණාම ගිඩියොන් දැනගත්තා එයාව තෝරගත්තේ යෙහෝවා දෙවිමයි කියලා. ඊළඟට යුද්දෙට යන්න එයා සෙබළු එකතු කරගත්තා.

යෙහෝවා දෙවි ගිඩියොන්ට මෙහෙම කිව්වා. ‘මං ඊශ්‍රායෙල්වරුන්ට ජය ලබා දෙනවා. ඒත් හුඟක් සෙබළු ඉන්න නිසා එයාලා හිතයි එයාලා නිසයි යුද්දේ දින්නේ කියලා. ඒ නිසා යුද්දෙට යන්න බය හැමෝටම ගෙදර යන්න කියන්න.’ සෙබළු 22,000ක් ගියා. ඉතුරු වුණේ 10,000යි. යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. ‘තවමත් සෙබළු වැඩියි. එයාලව දියපාරක් ළඟට ගෙනියලා ඒකෙන් වතුර බොන්න කියන්න. බොන ගමන් සතුරන් එනවද කියලා සෝදිසියෙන් ඉන්න අයව තෝරගන්න.’ එහෙම හිටියේ 300දෙනයි. යෙහෝවා දෙවි කිව්වා එයාලා මිදියන් හමුදාවේ 1,35,000ක් පරද්දනවා කියලා.

එදා රෑ යෙහෝවා දෙවි ගිඩියොන්ට කිව්වා ‘මිදියන්වරුන්ට පහර දෙන්න’ කියලා. ගිඩියොන් හැම සෙබළෙක්ටම හොරණෑවකුයි මැටි භාජනයකුයි දුන්නා. භාජනවල පන්දම් හංගලයි තිබුණේ. ගිඩියොන් කිව්වා ‘මං කරන දේම ඔයාලත් කරන්න’ කියලා. එයා හොරණෑව පිඹලා මැටි භාජනය බින්දා. පන්දම වනන ගමන් කෑගහලා කිව්වා ‘යෙහෝවා දෙවිට හා ගිඩියොන්ට ජය නියතයි’ කියලා. 300දෙනාත් ඒකම කළා. මිදියන්වරුන් බය වෙලා එහෙ මෙහෙ දුවන්නත් එයාලගෙම අයට පහර දෙන්නත් පටන්ගත්තා. එයාලව පරද්දන්න ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළේ යෙහෝවා දෙවියි.

“අප සතු බලය අපගේම ශක්තියෙන් උපදවාගත් දෙයක් නොව දෙවිගෙන් ලද සාමාන්‍යය ඉක්මවූ බලයයි.”—2 කොරින්ති 4:7