Skip to content

පටුනට යන්න

35වෙනි පාඩම

හන්නා දෙවිගෙන් පුතෙක්ව ඉල්ලයි

හන්නා දෙවිගෙන් පුතෙක්ව ඉල්ලයි

එල්කානා කියන ඊශ්‍රායෙල් ජාතිකයාට හන්නා, පෙනින්නා කියලා භාර්යාවන් දෙන්නෙක් හිටියා. එයා වැඩියෙන්ම ආදරය කළේ හන්නාට. හන්නාට දරුවන් හිටියේ නැහැ. ඒත් පෙනින්නාට ගොඩක් දරුවන් හිටියා. ඒ නිසා පෙනින්නා හැම තිස්සෙම හන්නාට සමච්චල් කළා. එල්කානා හැම අවුරුද්දෙම පවුලේ අයත් එක්ක දෙවිට නමස්කාර කරන්න ෂීලෝවල තිබුණ ශුද්ධ කූඩාරමට ගියා. එහෙම ගිය වෙලාවකදී හන්නා දුකෙන් ඉන්නවා දැකලා එල්කානා මෙහෙම කිව්වා. ‘අඬන්න එපා. ඔයාට මං ඉන්නවානේ. මං ඔයාට ආදරෙයිනේ.’

පස්සේ හන්නා ගිහින් අඬ අඬා යාච්ඤා කරලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, ඔබ මට පුතෙක්ව දුන්නොත් ජීවිත කාලෙම ඔබට සේවය කරන්න මං එයාව දෙනවා.’

හන්නා අඬ අඬා යාච්ඤා කරනවා දැක්කාම උත්තම පූජක ඒලී හිතුවේ එයා වෙරි වෙලා කියලා. හන්නා මෙහෙම කිව්වා. ‘මගේ ස්වාමීනි, මං වෙරි වෙලා නෑ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං ඒක යෙහෝවා දෙවිට කිව්වා.’ එතකොට ඒලී කිව්වා ‘දෙවි ඔයා ඉල්ලන දේ දෙයි’ කියලා. හන්නා සතුටින් ගෙදර ගියා. අවුරුද්දක් යන්න කලින් එයාට පුතෙක් ලැබුණා. එයාගේ නම සාමුවෙල්. ඒ ගැන හන්නා කොච්චර සතුටු වෙන්න ඇද්ද!

හන්නා එයා දීපු පොරොන්දුව අමතක කළේ නැහැ. සාමුවෙල් කිරි බොන කාලේ පහු වුණාම හන්නා එයාව ශුද්ධ කූඩාරමට ගෙනත් ඒලීට මෙහෙම කිව්වා. ‘එදා මං දෙවිගෙන් ඉල්ලපු විදිහටම දෙවි මට පුතෙක්ව දුන්නා. මෙයා හැමදාම මෙහෙ ඉඳන් යෙහෝවා දෙවිට සේවය කරයි.’ එල්කානායි හන්නායි හැම අවුරුද්දෙම අත් නැති අලුත් ඇඳුමක් අරන් සාමුවෙල්ව බලන්න ආවා. යෙහෝවා දෙවි හන්නාට තව පුත්තු තුන්දෙනෙකුයි දුවලා දෙන්නෙකුයි දුන්නා.

“නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි.”—මතෙව් 7:7