Skip to content

පටුනට යන්න

39වෙනි පාඩම

ඊශ්‍රායෙලයේ පළවෙනි රජ

ඊශ්‍රායෙලයේ පළවෙනි රජ

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න විනිශ්චයකරුවන්ව දීලා තිබුණත් සෙනඟට රජෙක්ව ඕන වුණා. එයාලා සාමුවෙල්ට කිව්වා ‘අනිත් ජාතීන්ට වගේ අපිටත් රජෙක්ව ඕනෙ’ කියලා. ඒ දේ වැරදියි කියලා සාමුවෙල් දැනගෙන හිටිය නිසා එයා ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. යෙහෝවා දෙවි එයාට මෙහෙම කිව්වා. ‘ඇත්තටම එයාලා එපා කියන්නේ ඔයාව නෙමෙයි මාව. ඒගොල්ලන්ට කියන්න රජෙක්ව පත් කළොත් රජ එයාලගෙන් හුඟක් දේවල් බලාපොරොත්තු වෙයි කියලා.’ ඒත් මිනිස්සු කිව්වා ‘අපිට රජෙක් ඕනෙමයි’ කියලා.

යෙහෝවා දෙවි සාමුවෙල්ට කිව්වා පළවෙනි රජ විදිහට පත් වෙන්නේ සාවුල් කියලා. සාවුල් රාමාවල හිටිය සාමුවෙල්ව බලන්න ගියාම සාමුවෙල් එයාගේ ඔළුවට තෙල් වත් කරලා එයාව රජ විදිහට පත් කළා.

ඊටපස්සේ සාමුවෙල් සෙනඟට කතා කළා අලුත් රජුව පෙන්නන්න. හැබැයි සාවුල්ව හොයාගන්න බැරි වුණා. ඔයා දන්නවද ඇයි කියලා? එයා බඩු මලු අස්සේ හැංගිලයි හිටියේ. අන්තිමේදි සාවුල්ව හොයාගෙන සෙනඟ මැදට ගෙනාවා. සාවුල් හැමෝටම වඩා උස මහත ලස්සන කෙනෙක්. සාමුවෙල් කිව්වා ‘මේ තමයි යෙහෝවා දෙවි තෝරගත්ත කෙනා’ කියලා. සෙනඟ කෑගහලා කිව්වා ‘රජතුමා දිගු කල් ජීවත් වේවා’ කියලා.

මුලදී සාවුල් රජ සාමුවෙල්ට ඇහුම්කන් දුන්නා, යෙහෝවා දෙවිට කීකරුව හිටියා. හැබැයි පස්සේ එයා වෙනස් වුණා. පූජා ඔප්පු කරන්න සාවුල් රජට අවසර තිබුණේ නැහැ. හැබැයි දවසක් සාමුවෙල් එන්න පරක්කු වුණ නිසා සාවුල් පූජාවක් ඔප්පු කළා. ඒක දැනගත්තම සාමුවෙල්ට කොහොම හිතෙන්න ඇද්ද! එයා සාවුල්ගෙන් ඇහුවා ‘ඇයි ඔයා දෙවිට අකීකරු වුණේ’ කියලා.

සාවුල් අමලෙක්වරුන් එක්ක සටන් කරන්න යද්දී සාමුවෙල් කිව්වා කාවත් ඉතුරු කරන්න එපා කියලා. ඒත් සාවුල් අමලෙක්වරුන්ගේ රජු වුණු ආගග්ව මැරුවේ නැහැ. යෙහෝවා දෙවි සාමුවෙල්ට කිව්වා ‘සාවුල් මං කිව්ව දේ ඇහුවේ නෑ. එයා මාව අතහැරියා’ කියලා. මේ ගැන දුක් වුණු සාමුවෙල් සාවුල්ට කිව්වා ‘ඔයා දෙවිට කීකරු වෙන්නේ නැති නිසා රජකමට යෙහෝවා දෙවි වෙන කෙනෙක්ව පත් කරයි’ කියලා. ඒක කියලා සාමුවෙල් යද්දී සාවුල් එයාගේ ඇඳුමෙන් ඇද්දාම ඒක ඉරුණා. සාමුවෙල් සාවුල්ට කිව්වා ‘යෙහෝවා දෙවි ඔයාව රජකමින් අයින් කළා’ කියලා. දෙවිට ආදරේ කරන, කීකරු වෙන කෙනෙක්ව රජු විදිහට පත් කරන්න යෙහෝවා දෙවි තීරණය කළා.

“පූජාවලට වඩා කීකරුකම වටිනවා.”—1 සාමුවෙල් 15:22