Skip to content

පටුනට යන්න

40වෙනි පාඩම

දාවිත් සහ ගොලියත්

දාවිත් සහ ගොලියත්

යෙහෝවා දෙවි සාමුවෙල්ට කිව්වා ‘යෙස්සේගේ ගෙදරට යන්න, එයාගේ පුතෙක් ඊශ්‍රායෙලයේ රජ වෙනවා’ කියලා. සාමුවෙල් යෙස්සේගේ ගෙදරට ගියා. එයා යෙස්සේගේ වැඩිමල් පුතාව දැක්කාම හිතුවා ‘දෙවි තෝරගන්න ඇත්තේ මෙයාව’ කියලා. හැබැයි යෙහෝවා දෙවි තෝරගත්තේ එයාව නෙවෙයි. ‘කෙනෙක්ගේ පෙනුම විතරක් නෙවෙයි එයාගේ හිතේ තියෙන දේත් මට පේනවා’ කියලා දෙවි කිව්වා.

යෙස්සේ තවත් පුත්තු හයදෙනෙක්ව සාමුවෙල් ළඟට ගෙනාවා. සාමුවෙල් කිව්වා ‘යෙහෝවා දෙවි මේ කාවත් තෝරගෙන නෑ, ඔයාට තවත් පුතාලා ඉන්නවද’ කියලා. යෙස්සේ කිව්වා ‘මගේ බාලම පුතා දාවිත් බැටළුවෝ බලාගන්න ගිහින්’ කියලා. දාවිත් ආවාම යෙහෝවා දෙවි සාමුවෙල්ට කිව්වා ‘මෙයාවයි මං තෝරගත්තේ’ කියලා. ඊටපස්සේ සාමුවෙල් දාවිත්ගේ ඔළුවට තෙල් දාලා එයාව රජ විදිහට පත් කළා.

කාලයක් ගියාම පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරු එක්ක සටනට ආවා. ගොලියත් කියන යෝධයත් ඒ අතරේ හිටියා. දවස ගාණේ එයා ඊශ්‍රායෙල්වරුන්ට විහිළු කළා. එයා කෑගහලා මෙහෙම කිව්වා. ‘මාත් එක්ක සටන් කරන්න කාව හරි එවන්න. එයා දින්නොත් අපි ඔයාලගේ සේවකයෝ වෙනවා. මම දින්නොත් ඔයාලා අපේ සේවකයෝ වෙනවා.’

දාවිත් කෑම අරන් එයාගේ අයියලාව බලන්න සටන්බිමට ගියාම ගොලියත් කිව්ව දේ එයාට ඇහුණා. එතකොට දාවිත් කිව්වා ‘මම සටන් කරන්නම්’ කියලා. ‘ඔයා තාම පොඩි කොල්ලෙක්නේ’ කියලා සාවුල් රජ කිව්වාම දාවිත් කිව්වා ‘යෙහෝවා දෙවි මට උදව් කරයි’ කියලා.

සාවුල් රජ එයාගේ ඇඳුම් දාවිත්ට ඇන්දුවාම දාවිත් කිව්වා ‘මේ ඇඳුම් එක්ක මට සටන් කරන්න බෑ’ කියලා. දාවිත් දියපාරක් ළඟට ගිහින් රවුම් ගල් පහක් අහුලගෙන එයාගේ මල්ලේ දාගත්තා. ඊටපස්සේ ගොලියත් ළඟට දුවගෙන ගියා. යෝධයා කෑගහලා කිව්වා ‘එනවා මං ළඟට. මං ඔයාව මරලා කුරුල්ලන්ටයි කැලේ සත්තුන්ටයි කන්න දෙනවා’ කියලා. එතකොට දාවිත් මෙහෙම කිව්වා. ‘ඔයා මං ළඟට එන්නේ කඩුවකුයි හෙල්ලයකුයි අරන්. හැබැයි මං ඔයා ළඟට එන්නේ යෙහෝවා දෙවිගේ නමින්. ඔයා සටන් කරන්නේ දෙවිට විරුද්ධව. මෙතන ඉන්න හැමෝම දැනගනියි කඩුවටත් හෙල්ලයටත් වඩා යෙහෝවා දෙවි බලවත් කියලා. දෙවි ඔයාලා හැමෝවම අපිට යටත් කරලා දෙයි.’

දාවිත් ගල්පටියට ගලක් දාලා පුළුවන් තරම් හයියෙන් ඒක කරකවලා ගොලියත්ට ගැහුවා. දෙවිගේ උදව්ව ලැබුණ නිසා ඒක ගොලියත්ගේ නළලේ වැදුණම යෝධයා මැරිලා වැටුණා. පිලිස්තිවරු හැමෝම බය වෙලා දිව්වා. දාවිත් වගේ ඔයත් යෙහෝවා දෙවිව විශ්වාස කරනවද?

“මිනිසුන් මොනව කළත් තමාගේම උත්සාහයෙන් ගැලවීම ලබාගන්න ඔවුන්ට බැහැ. නමුත් දෙවිට ඒ දේ ලබා දිය හැකියි. මන්ද දෙවිට සෑම දෙයක්ම කරන්න පුළුවන්.”—මාක් 10:27