Skip to content

පටුනට යන්න

41වෙනි පාඩම

දාවිත් සහ සාවුල්

දාවිත් සහ සාවුල්

දාවිත් ගොලියත්ව මැරුවට පස්සේ සාවුල් රජ එයාව හමුදාවේ නායකයා කළා. දාවිත් ගොඩක් සටන් දිනුව නිසා මිනිස්සු එයාට කැමති වුණා. දාවිත් සටනක් දිනලා ආපු හැම සැරේම ගැහැනු අය සිංදු කියලා නටනට මෙහෙම කිව්වා. ‘සාවුල් දහස් ගණන් මැරුවා. දාවිත් දසදහස් ගණන් මැරුවා.’ ඒක අහලා සාවුල් රජට ඊර්ෂ්‍යා හිතුණ නිසා එයාට ඕන වුණා දාවිත්ව මරන්න.

දාවිත් වීණා වාදනය කරන්න හරි දක්ෂයි. දවසක් සාවුල් රජු ඉස්සරහා වීණාව වාදනය කරද්දී සාවුල් දාවිත්ට ඇනෙන්න හෙල්ලය විසි කළා. හැබැයි දාවිත් බේරුණා. සාවුල් කීප සැරයක්ම දාවිත්ව මරන්න හැදුව නිසා දාවිත් පාළු පැත්තකට ගිහින් හැංගිලා හිටියා.

සාවුල් මිනිස්සු 3,000ක් එක්ක දාවිත්ව අල්ලගන්න ගියා. දාවිත් හැංගිලා හිටිය ගුහාවට දන්නෙම නැතුව සාවුල් රජත් ගියා. දාවිත් එක්ක හිටිය අය කිව්වා ‘සාවුල්ව මරන්න මේක හොඳ වෙලාව’ කියලා. දාවිත් හොරෙන් සාවුල් ළඟට ගිහින් එයාගේ ඇඳුමෙන් කෑල්ලක් කපාගත්තා. යෙහෝවා දෙවි රජ විදිහට පත් කරලා තියෙන කෙනාට ගෞරවයෙන් සලකපු නැති එක ගැන පස්සේ දාවිත් හුඟක් දුක් වුණා. එයා එයාගේ මිනිසුන්ට සාවුල්ව මරන්න ඉඩ දුන්නේ නැහැ. එයා සාවුල්ට කිව්වා එයාට සාවුල්ව මරන්න ඉඩක් ලැබුණත් එයා එහෙම කළේ නැහැ කියලා. සාවුල් දාවිත් ගැන හිතපු විදිහ වෙනස් කරගත්තද?

නැහැ. සාවුල් දිගටම දාවිත්ව අල්ලගන්න ගියා. දවසක් රෑ දාවිත් එයාගේ නෑදෑ පුතෙක් වුණු අබිෂයි එක්ක සාවුල්ගේ කඳවුරට හොරෙන් ගියා. සාවුල්ගේ ආරක්ෂකයා වුණු අබ්නේර්ටත් නින්ද ගිහින්. අබිෂයි කිව්වා ‘මට එයාව මරන්න ඉඩ දෙන්න’ කියලා. දාවිත් කිව්වා ‘යෙහෝවා දෙවි එයා ගැන බලාගනියි. අපි එයාගේ හෙල්ලයයි වතුර භාජනයයි අරගෙන මෙහෙන් යමු’ කියලා.

සාවුල් ඉන්න කඳවුර පේන කන්දකට නැග්ග දාවිත් කෑගහලා මෙහෙම කිව්වා. ‘අබ්නේර්, ඇයි ඔයා රජව ආරක්ෂා කළේ නැත්තේ? සාවුල්ගේ හෙල්ලයයි වතුර භාජනයයි කොහෙද?’ ඒ කතා කළේ දාවිත් කියලා අඳුනගත්ත සාවුල් මෙහෙම කිව්වා. ‘ඔයාට මාව මරන්න ලැබිලත් ඔයා එහෙම කළේ නැහැ. මං දන්නවා ඊළඟට රජ වෙන්නේ ඔයා කියලා.’ ඊටපස්සේ සාවුල් එයාගේ මාලිගාවට ගියා.

“මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න. ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.”—රෝම 12:18, 19