Skip to content

පටුනට යන්න

42වෙනි පාඩම

බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්

බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්

සාවුල් රජගේ වැඩිමල් පුතා යොනාතාන් සටන් කරන්න දක්ෂ කෙනෙක්. දාවිත් කිව්වා එයා රාජාලීන්ටත් වඩා වේගවත් සිංහයන්ටත් වඩා බලවත් කියලා. දවසක් යොනාතාන් දැක්කා පිලිස්ති සෙබළුන් 20දෙනෙක් කන්දක් උඩ ඉන්නවා. ඒ නිසා එයාගේ ආයුධ අරන් ගිය කෙනාට එයා මෙහෙම කිව්වා. ‘පිලිස්තිවරු සටනට එන්න කියලා අපිට කිව්වොත් විතරක් අපි සටනට යමු. ඒක තමයි යෙහෝවා දෙවි අපිට දෙන ලකුණ.’ පිලිස්තිවරු ‘සටනට එන්න’ කියලා කෑගහලා කිව්ව නිසා එයාලා කන්දට නැඟලා ඒ සෙබළුන්ව පැරැද්දුවා.

ඊළඟට රජකම ලැබෙන්න තිබුණේ යොනාතාන්ට වුණත් එයා දැනගෙන හිටියා යෙහෝවා දෙවි තෝරගෙන තියෙන්නේ දාවිත්ව කියලා. එයා දාවිත්ට ඊර්ෂ්‍යා කළේ නැහැ. ඒ දෙන්නා හොඳ යාළුවන් වුණා. යොනාතාන් එයාගේ ඇඳුමයි කඩුවයි දුන්නයි ඉණපටියයි දාවිත්ට දුන්නෙත් ඒ යාළුකමේ ලකුණක් විදිහට. දෙන්නට දෙන්නා ආරක්ෂා කරගන්නවා කියලා ඒ දෙන්නා පොරොන්දු වුණා.

දාවිත් සාවුල් රජගෙන් බේරෙන්න හැංගිලා ඉද්දී යොනාතාන් එයාට මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. යෙහෝවා දෙවි ඊළඟ රජ විදිහට තෝරගෙන තියෙන්නේ ඔයාව. මගේ තාත්තාත් ඒක දන්නවා.’ යොනාතාන් වගේ යාළුවෙක් ඔයාටත් ඉන්නවා නම් ඔයාත් කැමතිද?

කීප සැරයක්ම යොනාතාන් ජීවිතේ ගැනවත් හිතන්නැතුව දාවිත්ව බේරගත්තා. සාවුල් දාවිත්ව මරන්න හොයනවා කියලා දැනගත්තම එයා තාත්තාට මෙහෙම කිව්වා. ‘දාවිත්ව මරන එක පාපයක්. එයා වරදක් කරලා නෑනේ.’ සාවුල්ට හුඟක් කේන්ති ගියා. ටික කාලෙකට පස්සේ සටනකදී සාවුලුත් යොනාතානුත් මැරුණා.

ඊටපස්සේ දාවිත්ට ඕන වුණා යොනාතාන්ගේ පුතා වුණු මෙෆිබොෂෙත්ව හොයාගන්න. එයාව මුණගැහුණාම දාවිත් මෙහෙම කිව්වා. ‘ඔයාගේ තාත්තා මගේ යාළුවෙක්. මං ඔයාව හොඳට බලාගන්නම්. ඔයාට පුළුවන් හැමදාම මගේ මාලිගාවේ ඉඳන් මාත් එක්ක කෑම කන්න.’ දාවිත් කවදාවත් යොනාතාන්ව අමතක කළේ නැහැ.

“මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ.”—යොහන් 15:12, 13