Skip to content

පටුනට යන්න

43වෙනි පාඩම

දාවිත් රජ කරපු වරද

දාවිත් රජ කරපු වරද

දාවිත් රජ වුණේ අවුරුදු 30දී. දවසක් රෑ එයා මාලිගාවේ ඉද්දී ලස්සන ගෑනු කෙනෙක්ව දැක්කා. එයා ගැන විස්තර හොයලා බැලුවම දාවිත් දැනගත්තා එයා උරියා කියන සෙබළාගේ බිරිඳ වන බැත්-ෂෙබා කියලා. දාවිත් එයාව මාලිගාවට ගෙන්නගෙන ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒ නිසා බැත්-ෂෙබාට දරුවෙක් ලැබෙන්න හිටියා. වෙච්ච දේ අනිත් අය දැනගන්නවාට දාවිත් කැමති වුණේ නැහැ. එයා හමුදාවේ නායකයෙක්ට කිව්වා සටන් කරද්දී උරියාව සතුරන් ඉස්සරහටම යවන්න කියලා. උරියා මැරුණම දාවිත් බැත්-ෂෙබාව විවාහ කරගත්තා.

වෙච්ච හැම දේම යෙහෝවා දෙවි දැක්ක නිසා දෙවි අනාගතවක්තෘ නාතන්ව දාවිත් ළඟට යැව්වා. නාතන් මෙහෙම කිව්වා. ‘බැටළුවන් හුඟක් හිටිය පොහොසත් මිනිසෙකුත් පුංචි බැටළුවෙක් විතරක් හිටිය දුප්පත් මිනිසෙකුත් හිටියා. හැබැයි දවසක් පොහොසත් කෙනා ඒ බැටළුවාව ගත්තා.’ ඒක අහලා දාවිත්ට හොඳටම කේන්ති ගිහින් කිව්වා ‘ඒ මිනිසාව මරන්න ඕනේ’ කියලා. එතකොට නාතන් කිව්වා ‘ඔයා තමයි ඒ මිනිසා’ කියලා. ඒ වෙලේ දාවිත් හරිම දුකෙන් කිව්වා ‘මම යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා’ කියලා. දාවිත් කරපු වරද නිසා එයාටත් පවුලේ අයටත් දුක් විඳින්න වුණා. හැබැයි දාවිත් අවංක, නිහතමානි කෙනෙක් නිසා දෙවි එයාට ජීවත් වෙන්න ඉඩ දුන්නා.

දේවමාලිගාවක් හදන්න දාවිත්ට ලොකු ආසාවක් තිබුණත් යෙහෝවා දෙවි ඒකට තෝරගත්තේ දාවිත්ගේ පුතා වුණු සලමොන්ව. දාවිත් ඕන කරන දේවල් ලෑස්ති කළාට පස්සේ මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවිට හදන දේවමාලිගාව ලස්සනට තියෙන්න ඕනේ. සලමොන් තාම පොඩියිනේ. ඒ නිසා ඕන කරන දේවල් ලෑස්ති කරලා මං එයාට උදව් කරන්නම්.’ දාවිත් එයාගේ සල්ලි ගොඩක් ඒ වෙනුවෙන් දුන්නා. දක්ෂ වැඩකරුවන්වත් හොයාගත්තා. ඇති තරම් රත්තරන්, රිදී වගේම තීර්, සීදොන් කියන දේශවලින් දේවදාර ලීත් එකතු කරගත්තා. එයා මැරෙන්න කලින් දේවමාලිගාව හදන්න ඕන විදිහ ගැන සලමොන්ට කියලා දීලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි තමයි මේ තොරතුරු මට කිව්වේ. යෙහෝවා දෙවි ඔයාට උදව් කරයි. බය වෙන්න එපා. වැඩේ පටන්ගන්න.’

“තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.”—හිතෝපදේශ 28:13