Skip to content

පටුනට යන්න

45වෙනි පාඩම

රාජ්‍යය දෙකට බෙදෙයි

රාජ්‍යය දෙකට බෙදෙයි

සලමොන් රජ යෙහෝවා දෙවිට නමස්කාර කරන කල් ඊශ්‍රායෙලයේ හැමෝම සාමයෙන් සතුටින් හිටියා. ඒත් සලමොන් රජ රූපවලට නමස්කාර කරපු ගැහැනු අය හුඟදෙනෙක්ව විවාහ කරගත්තා. අන්තිමේදී සලමොන් රජත් රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිට ඒ ගැන හුඟක් කේන්ති ගියා. දෙවි එයාට මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකට බෙදෙනවා. ඒකෙන් වැඩි කොටසක් මං ඔයාගේ සේවකයෙක්ට දෙනවා. ඔයාගේ පවුලේ අයට පාලනය කරන්න ලැබෙන්නේ පොඩි කොටසක් විතරයි.’

දවසක් සලමොන්ගේ සේවකයෙක් වුණ යෙරොබොවම්ට අනාගතවක්තෘ අහියාව මුණගැහුණා. අහියා එයාගේ ඇඳුම කොටස් 12කට ඉරලා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් රාජ්‍යය සලමොන්ගේ පවුලෙන් අරන් ඒක දෙකට බෙදනවා. මේ රෙදි කෑලිවලින් දහයක් ඔයා ගන්න. ඒ ගෝත්‍ර දහයේ රජ ඔයා.’ සලමොන් ඒක දැනගත්තම යෙරොබොවම්ව මරන්න හැදුවා. ඒ නිසා යෙරොබොවම් ඊජිප්තුවට ගිහින් හැංගුණා. කාලයක් ගියාම සලමොන් මැරිලා එයාගේ පුතා රෙහබෝවම් රජ වුණා. ඒක දැනගත්ත යෙරොබොවම් ආයෙත් ඊශ්‍රායෙලයට ආවා.

ඊශ්‍රායෙලයේ වැඩිමහල්ලන් රෙහබෝවම් රජුට කිව්වා ‘සෙනඟට හොඳට සැලකුවොත් එයාලත් කීකරුව ඉඳියි’ කියලා. ඒත් ‘සෙනඟගෙන් තවත් වැඩියෙන් වැඩ ගන්න’ කියලා එයාගේ වයසේ යාළුවෝ කිව්වා. රෙහබෝවම් යාළුවෝ කියපු විදිහට වැඩ කරපු නිසා සෙනඟ එයාට කැමති වුණේ නැහැ. එයාලා ගෝත්‍ර දහයක රජ විදිහට යෙරොබොවම්ව පත් කළා. ඒ ගෝත්‍ර දහයට කිව්වේ ඊශ්‍රායෙල් රාජ්‍යය කියලා. රෙහබෝවම්ට ඉතුරු වුණේ ගෝත්‍ර දෙකයි. ඒකට කිව්වේ යූදා රාජ්‍යය කියලා. ඒ විදිහට ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 12 දෙකට බෙදුණා.

සෙනඟ යෙරුසලමට ගිහින් නමස්කාර කරනවාට යෙරොබොවම් කැමති වුණේ නැහැ. ඒ මොකද දන්නවද? එයා බය වුණා සෙනඟ ආයෙත් රෙහබෝවම්ගේ පැත්ත ගනියි කියලා. ඒ නිසා එයා රත්තරන්වලින් වස්සන් දෙන්නෙක්ව හදලා සෙනඟට මෙහෙම කිව්වා. ‘යෙරුසලම හුඟක් දුරයි. ඒ නිසා ඔයාලා මෙතන ඉඳන් නමස්කාර කරන්න.’ ඉතින් සෙනඟ ආයෙත් යෙහෝවා දෙවිව අමතක කරලා රන් වස්සන්ට නමස්කාර කරන්න පටන්ගත්තා.

‘දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න. මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම අතර සම්බන්ධයක් තිබිය හැකිද? නැත්නම් දෙවිට සේවය කරන්නෙකු හා දෙවිට සේවය නොකරන කෙනෙකු අතර බැඳීමක් තිබිය හැකිද?’—2 කොරින්ති 6:14, 15