Skip to content

පටුනට යන්න

46වෙනි පාඩම

කර්මෙල් කන්දේදී කරපු පූජාව

කර්මෙල් කන්දේදී කරපු පූජාව

ඊශ්‍රායෙල් රාජ්‍යයේ ගොඩක් නරක රජවරු හිටියා. ආහබ් ඒ අයගෙන් නරකම කෙනෙක්. එයා විවාහ වෙලා හිටියේ බාල්ට නමස්කාර කරපු යෙසබෙල් එක්ක. ඒ දෙන්නා එකතු වෙලා යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරලා බාල්ට නමස්කාර කරන තැන් හැම තැනම හැදුවා. යෙහෝවා දෙවි මොකද කළේ? දෙවි එලියා අතේ ආහබ්ට පණිවිඩයක් යැව්වා.

ඊශ්‍රායෙලයට වැස්ස ලැබෙන්නේ නැහැ කියලා එලියා ආහබ්ට කිව්වා. අවුරුදු තුනක්ම වැස්සේ නැති නිසා මිනිස්සු හිටියේ බඩගින්නේ. යෙහෝවා දෙවි ආයෙත් එලියාව ආහබ් ළඟට යැව්වම රජ එලියාට මෙහෙම කිව්වා. ‘ඔයා මහා කරදරකාරයෙක්. මේ හැම දේම ඔයා නිසයි.’ එතකොට එලියා මෙහෙම කිව්වා. ‘වැස්ස නැති වුණේ මං නිසා නෙමෙයි ඔයා බාල්ට නමස්කාර කරන නිසයි. සැබෑ දෙවි කවුද කියලා දැනගන්න සෙනඟටත් බාල් අනාගතවක්තෘවරුන්ටත් කර්මෙල් කන්දට එන්න කියන්න.’

හැමෝම කර්මෙල් කන්දට ආවම එලියා මෙහෙම කිව්වා. ‘දැන්ම තීරණයක් ගන්න. යෙහෝවා දෙවි ඇත්ත දෙවි නම් දෙවිට නමස්කාර කරන්න. බාල් ඇත්ත දෙවි නම් බාල්ට නමස්කාර කරන්න. බාල්ගේ අනාගතවක්තෘවරුන් 450දෙනාට කියන්න බාල්ට පූජාවක් ලෑස්ති කරන්න කියලා. මමත් යෙහෝවා දෙවිට පූජාවක් ලෑස්ති කරන්නම්. ගින්නක් එවලා ඒක පිළිගන්න කෙනා තමයි ඇත්ත දෙවියන්.’ සෙනඟ ඒකට කැමති වුණා.

බාල්ගේ අනාගතවක්තෘවරු පූජාවක් ලෑස්ති කරලා දවස පුරාම ‘අනේ බාල්, අපිට උත්තර දෙන්න’ කියලා කිව්වත් කිසි උත්තරයක් ලැබුණේ නැහැ. එලියා එයාලට විහිළු කරකර මෙහෙම කිව්වා. ‘තව හයියෙන් කෑගහන්න. එයා නිදි ඇති. කවුරු හරි ගිහින් එයාව ඇහැරවන්න.’ හැන්දෑ වෙන කල්ම එයාලා කෑගැහුවත් බාල්ගෙන් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ.

එලියා පූජාවක් ලෑස්ති කරලා ඒක උඩට වතුර දැම්මා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, ඇත්ත දෙවි ඔබයි කියලා පෙන්වන්න.’ එතකොටම යෙහෝවා දෙවි අහසින් ගින්නක් එවලා ඒ පූජාව පුච්චලා දැම්මා. සෙනඟ හැමෝම ‘යෙහෝවා දෙවි තමයි ඇත්ත දෙවි’ කියලා කියද්දී එලියා කිව්වා ‘බාල්ගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න’ කියලා. එදා බාල්ගේ අනාගතවක්තෘවරු 450දෙනෙක් මැරුණා.

මුහුද පැත්තෙන් පුංචි වලාකුළක් එනවා දැකලා එලියා ආහබ්ට මෙහෙම කිව්වා. ‘කුණාටුවක් එන්නයි යන්නේ. ඉක්මනට ගෙදර යන්න.’ අහස කළු කරලා ලොකු හුළඟක් ඇවිත් හයියෙන් වහින්න පටන්ගත්තා. ආහබ් පුළුවන් තරම් හයියෙන් එයාගේ අශ්ව කරත්තෙන් ගියා. ඒත් යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඒ අශ්වයන්ටත් වඩා හයියෙන් දුවගෙන යන්න එලියාට පුළුවන් වුණා. එලියාගේ හැම ප්‍රශ්නයක්ම විසඳුණාද? අපි බලමු.

“යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”—ගීතාවලිය 83:18