Skip to content

පටුනට යන්න

47වෙනි පාඩම

යෙහෝවා දෙවි එලියාව ශක්තිමත් කළා

යෙහෝවා දෙවි එලියාව ශක්තිමත් කළා

බාල්ගේ අනාගතවක්තෘවරුන්ට වුණු දේ දැනගත්තම යෙසබෙල්ට කේන්ති ගියා. ඒ නිසා එයා එලියාට පණිවිඩයක් ඇරලා කිව්වා ‘බාල්ගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාපු විදිහටම හෙට මං ඔයාවත් මරනවා’ කියලා. එලියා හුඟක් බය වෙලා පාළු පැත්තකට ගියා. එයා යෙහෝවා දෙවිට මෙහෙම කිව්වා. ‘අනේ යෙහෝවා දෙවියනි, මාව මරලා දාන්න. මං ජීවත් වුණා දැන් හොඳටම ඇති.’ පස්සේ එයාට ගහක් යට නින්ද ගියා.

දේවදූතයෙක් ඇවිත් එලියාව ඇහැරවලා කිව්වා ‘දැන් නැඟිටලා කෑම කන්න’ කියලා. එතකොට රත් වුණු ගල් උඩ තිබුණු රොටියකුයි වතුර භාජනයකුයි එලියා දැක්කා. එයා ඒවා කාලා බීලා ආයෙත් නිදාගත්තා. දේවදූතයා ආයෙත් එලියාට මෙහෙම කිව්වා. ‘නැඟිටලා කෑම කන්න. නැත්නම් යන්න ඕන තැනට යන්න අමාරු වෙයි.’ එලියා තවත් කෑම ටිකක් කාලා දවස් 40කුත් රෑ 40කුත් ඇවිදගෙන හොරෙබ් කන්දට ගියා. එතන තිබුණු ගුහාවක එලියා නිදාගෙන ඉද්දී යෙහෝවා දෙවි එයාගෙන් ඇහුවා ‘මෙතනට ආවේ ඇයි’ කියලා. එතකොට එලියා මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරුන් ඔබට දීපු පොරොන්දුව කඩ කළා. පූජාසන කඩලා ඔබේ අනාගතවක්තෘවරුන්වත් මැරුවා. දැන් මාවත් මරන්නයි හදන්නේ.’

එතකොට යෙහෝවා දෙවි එයාට කිව්වා ‘ගුහාවෙන් එළියට ඇවිත් කන්ද උඩට නඟින්න’ කියලා. ඊටපස්සේ ලොකු හුළඟක් ආවා. ඒත් එක්කම භූමිකම්පාවකුත් ගින්නකුත් ආවා. අන්තිමට සන්සුන් මෘදු කටහඬක් එලියාට ඇහුණා. එයා ඇඳුමෙන් මූණ වහගෙන ගුහාවේ කට ළඟට ඇවිත් හිටගත්තා. යෙහෝවා දෙවි ආයෙත් එයාගෙන් ඇහුවා මෙතනට ආවේ ඇයි කියලා. ‘බේරුණේ මං විතරයි’ කියලා එලියා කිව්වම යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. ‘ඔයා විතරක් නෙවෙයි මට විශ්වාසවන්තව ඉන්න තවත් 7,000ක් ඊශ්‍රායෙලයේ ඉන්නවා. ඔයාගෙන් පස්සේ අනාගතවක්තෘවරයා විදිහට එලිෂාව පත් කරන්න.’ එලියා ඉක්මනටම ගිහින් යෙහෝවා දෙවි කියපු දේ කළා. ඔයාත් යෙහෝවා දෙවි කියන දේ කරද්දී දෙවි ඔයාටත් උදව් කරයිද? ඔව්, දෙවි අනිවාර්යයෙන්ම උදව් කරයි.

“කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.”—ෆිලිප්පි 4:6