Skip to content

පටුනට යන්න

49වෙනි පාඩම

නපුරු රැජිනකට ලැබුණු දඬුවම

නපුරු රැජිනකට ලැබුණු දඬුවම

යෙෂ්‍රෙයෙල්වල හිටිය ආහබ් රජගේ මාලිගාවේ ඉඳන් බලද්දී ලස්සන මිදිවත්තක් පේන්න තිබුණා. ඒක අයිති නාබොත්ට. ආහබ් රජට ඕන වුණා ඒ මිදිවත්ත ගන්න. හැබැයි උරුමයෙන් ලැබුණු ඉඩමක් විකුණනවට යෙහෝවා දෙවි කැමති නැහැ කියලා නාබොත් දැනගෙන හිටියා. ඒ නිසා ඒක විකුණන්න එයා කැමති වුණේ නැහැ. ඒ ගැන කේන්ති ගත්ත ආහබ් රජ කන්නේ බොන්නේ නැතුව එයාගේ කාමරයට වෙලා කල්පනා කරකර හිටියා.

ආහබ්ගේ බිරිඳ වුණු යෙසබෙල් රැජින ඒක දැනගත්තම මෙහෙම කිව්වා. ‘ඔයා ඊශ්‍රායෙලයේ රජ. ඔයා කැමති ඕනම දෙයක් ඔයාට ගන්න පුළුවන්. ඒ ඉඩම මං ඔයාට අරන් දෙන්නම්.’ ඊටපස්සේ එයා වැඩිමහල්ලන්ට ලියුමක් ඇරලා කිව්වා නාබොත් දෙවිට ශාප කළා කියලා චෝදනා කරලා එයාට ගල් ගහලා මරන්න කියලා. වැඩිමහල්ලන් ඒ දේ කළාට පස්සේ යෙසබෙල් ආහබ්ට මෙහෙම කිව්වා. ‘නාබොත් මැරිලා, එයාගේ මිදිවත්ත දැන් අයිති කරගන්න.’

නාබොත්ව විතරක් නෙවෙයි යෙහෝවා දෙවිට ආදරේ කරපු හුඟදෙනෙක්ව යෙසබෙල් මැරුවා. ගොඩක් නරක වැඩ කරපු එයා නමස්කාර කළේ බොරු දෙවිවරුන්ට. එයා කරපු හැම දෙයක්ම යෙහෝවා දෙවි දැක්කා. ඉතින් යෙහෝවා දෙවි එයාට මොනවා කරයිද?

ආහබ් මැරුණට පස්සේ රජ වුණේ එයාගේ පුතා යෙහෝරම්. යෙසබෙල්ටත් එයාගේ පවුලේ අයටත් දඬුවම් කරන්න යෙහෝවා දෙවි යේහුව යැව්වා.

යේහු එයාගේ අශ්ව රථයට නැඟලා යෙසබෙල් ජීවත් වුණු යෙෂ්‍රෙයෙල්වලට ආවා. එතකොට යෙහෝරම් යේහුව මුණගැහෙන්න ඇවිත් ඇහුවා ‘ඔයා අපේ යාළුවෙක් නේද’ කියලා. එතකොට යේහු මෙහෙම කිව්වා. ‘ඔයාගේ අම්මා යෙසබෙල් මේ තරම් නපුරු වැඩ කරද්දී මං කොහොමද ඔයාලගේ යාළුවෙක් වෙන්නේ?’ ඒ වෙලාවේ යෙහෝරම් ඉක්මනින්ම එතනින් පැනගන්න හැදුවත් යේහු ඊතලයකින් විදලා එයාව මැරුවා.

ඊටපස්සේ යේහු යෙසබෙල්ගේ මාලිගාවට ගියා. එයා එනවා කියලා දැනගත්තම යෙසබෙල් හැඩවැඩ වෙලා උඩ තට්ටුවට ගිහින් ජනේලෙන් බලන් හිටියා. යේහු ආවම යෙසබෙල් කතා කළේ නපුරු විදිහට. යෙසබෙල්ගේ ළඟින් හිටිය සේවකයන්ට යේහු කිව්වා ‘එයාව ජනේලෙන් පල්ලෙහාට දාන්න’ කියලා. එයාලා යෙසබෙල්ව ජනේලෙන් එළියට දැම්මාම එයා එතනම මැරුණා.

යේහු ආහබ්ගේ පුත්තු 70දෙනෙක්වත් මරලා ඒ නගරයෙන් බාල් නමස්කාරය සම්පූර්ණයෙන්ම නැති කළා. යෙහෝවා දෙවිට හැම දෙයක්ම පේනවා කියලත් නරක වැඩ කරන අයට සුදුසු කාලයේදී දෙවි දඬුවම් කරනවා කියලත් ඔයාට පැහැදිලි වුණාද?

“කෑදරකමින් උරුමයක් ලබාගත්තත් අනාගතයේදී එයින් කිසිදු ආශීර්වාදයක් ලැබෙන්නේ නැත.”—හිතෝපදේශ 20:21