Skip to content

පටුනට යන්න

50වෙනි පාඩම

යෙහෝවා දෙවි යෙහෝෂපාට් රජුට උදව් කළා

යෙහෝවා දෙවි යෙහෝෂපාට් රජුට උදව් කළා

යූදා දේශයේ රජ වුණ යෙහෝෂපාට් ඒ දේශයේ තිබුණු බාල් පූජාසන, රූප ඔක්කොම විනාශ කළා. එයාට ඕන වුණේ සෙනඟත් දෙවිගේ නීතිවලට කීකරු වෙනවාටයි. ඒ නිසා එයා දේශයේ හැම තැනටම අධිපතීන්වයි ලෙවීවරුන්වයි යවලා දෙවිගේ නීති ගැන සෙනඟට ඉගැන්නුවා.

යෙහෝවා දෙවි යූදා දේශයේ අයට උදව් කරනවා කියලා දන්න නිසා ඒ වටේ හිටිය ජාතීන් එයාලා එක්ක සටන් කරන්න බය වුණා. එයාලා යෙහෝෂපාට් රජට හුඟක් තෑගි දුන්නා. ඒත් පස්සේ මෝවබ්වරුයි අම්මොනිවරුයි සේයිර් දේශයේ වැසියනුයි එකතු වෙලා යූදා දේශය එක්ක සටන් කරන්න ආවා. යෙහෝවා දෙවිගේ උදව් ඕනෙ කියලා යෙහෝෂපාට්ට තේරුණා. ඒ නිසා එයා සෙනඟ හැමෝටම යෙරුසලමට එන්න කියලා මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ නැතුව අපිට දිනන්න බැහැ. අපි කරන්න ඕනෙ මොනවද කියලා අපිට කියන්න.’

යෙහෝවා දෙවි මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ඔයාලට උදව් කරන්නම්. එයාලා ඉස්සරහට ගිහින් සටන් කරන්නේ නැතුව බලාගෙන ඉන්න. මං ඔයාලව බේරගන්න හැටි ඔයාලා දකියි.’

පහුවෙනිදා උදේ යෙහෝෂපාට් ගායක කණ්ඩායමක් තෝරගෙන එයාලට කිව්වා හමුදාවට ඉස්සරහින් යන්න කියලා. එයාලා යෙරුසලමේ ඉඳන් තෙකෝවා කියන තැනට ගියා.

එතනදී ගායක කණ්ඩායමේ අය හයියෙන් දෙවිට ප්‍රශංසා ගී කියද්දී යෙහෝවා දෙවි සතුරු හමුදාව එක්ක සටන් කළා. යෙහෝවා දෙවි ඒ හමුදාවේ හිටපු අයට තමන්ගෙම අයට පහර දෙන්න සැලැස්සුවා. ඒකෙන් හැමෝම මැරුණා. ඒත් යූදා දේශයේ කිසි කෙනෙක්ට මුකුත්ම වුණේ නැහැ. යෙහෝවා දෙවි එයාලව ආරක්ෂා කළා. ඒක ආරංචි වුණාම ළඟපාත දේශවල හිටපු හැමෝම දැනගත්තා යෙහෝවා දෙවි තමයි ඔහුගේ සෙනඟව බේරගත්තේ කියලා. යෙහෝවා දෙවිට පුළුවන් ඕනම විදිහකින් ඔහුගේ සෙනඟව බේරගන්න. ඒක කරන්න ඔහුට මිනිසුන්ගේ උදව් ඕන වෙන්නේ නැහැ.

“ඔබට සටන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් ඉදිරියට ගොස් නිශ්චලව බලා සිටින්න. එවිට යෙහෝවා දෙවි ඔබව ගලවන ආකාරය ඔබේ ඇස් දෙකෙන්ම දැකගැනීමට ඔබට හැකි වෙයි.”—2 ලේකම් 20:17