Skip to content

පටුනට යන්න

52වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ හමුදාව

යෙහෝවා දෙවිගේ හමුදාව

සිරියාවේ බෙන්-හාදද් රජ කීපවතාවක්ම ඊශ්‍රායෙල්වරුන් එක්ක සටනට ආවා. හැබැයි ඒ හැම වතාවකම අනාගතවක්තෘ එලිෂා ඒ ගැන ඊශ්‍රායෙලයේ රජුට දැනුම් දීපු නිසා රජුගේ ජීවිතේ බේරුණා. ඒ නිසා බෙන්-හාදද්ට ඕන වුණා එලිෂාව අල්ලගන්න. එලිෂා ඉන්නේ දොතාන් නගරයේ කියලා දැනගත්තම එයාව අල්ලගන්න රජ සෙබළුන්ව යැව්වා.

එදා රෑ සිරියානු හමුදාව දොතාන් නගරයට ගියා. පහුවෙනිදා උදේ එයාලා මුළු නගරයම වට කරගෙන කියලා එලිෂාගේ සේවකයා දැක්කම එයා හොඳටම බය වුණා. එයා එලිෂාගෙන් ඇහුවා ‘අපි දැන් මොකද කරන්නේ’ කියලා. එතකොට එලිෂා කිව්වා ‘ඊට වඩා වැඩිදෙනෙක් අපිත් එක්ක ඉන්නවා’ කියලා. ඒ වෙලාවේ යෙහෝවා දෙවි මුළු කඳුකරයෙම ගින්දර වගේ පෙනුණු අශ්වයන්වත් අශ්ව රථත් ඒ සේවකයාට පෙන්නුවා.

සිරියානු හමුදාව එලිෂාව අල්ලගන්න හැදුවම එලිෂා යාච්ඤා කරලා කිව්වා ‘යෙහෝවා දෙවියනි, මේ අයගේ ඇස් අන්ධ කරන්න’ කියලා. ඒ වෙලාවේ එයාලගේ ඇස් අන්ධ වුණේ නැතත් එයාලා ඉන්නේ කොහේද කියන එක ගැන එයාලට තේරුණේ නැහැ. එලිෂා එයාලට මෙහෙම කිව්වා. ‘ඔයාලා යන්නේ වැරදි පාරේ. ඔයාලා හොයන කෙනා ළඟට මං ඔයාලව එක්කන් යන්නම්.’ අන්තිමේදී එලිෂා එයාලව ඊශ්‍රායෙලයේ රජු ජීවත් වුණු සමාරියටම එක්කන් ගියා.

වෙච්ච දේ සිරියානුවන් තේරුම්ගද්දී එයාලා පරක්කු වැඩියි. ඊශ්‍රායෙල් රජ එලිෂාගෙන් ඇහුවා ‘මං මෙයාලව මරලා දාන්නද’ කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් එලිෂා එයාලව මරන්න කියයිද? නැහැ. එයා මෙහෙම කිව්වා. ‘එයාලව මරන්න එපා. කන්න, බොන්න දීලා එයාලව ආපහු යවන්න.’ රජ කෑම ගොඩක් එයාලට දීලා එයාලව යැව්වා.

“අපට තිබෙන ස්ථිර විශ්වාසය නම් දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.”—1 යොහන් 5:14