Skip to content

පටුනට යන්න

53වෙනි පාඩම

යෙහෝයාදාගේ නිර්භීතකම

යෙහෝයාදාගේ නිර්භීතකම

යෙසබෙල්ට අතලියා කියලා දුවෙක් හිටියා. එයාත් අම්මා වගේම නපුරුයි. අතලියා විවාහ වෙලා හිටියේ යූදා දේශයේ රජු එක්ක. ඒ රජ මැරුණම රජ වුණේ අතලියාගේ පුතා. එයත් මැරුණා. ඊටපස්සේ අතලියා රජකම අතට අරන් රාජකීය පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න හැදුවා. එයාගේම මුණුබුරන්වත් මැරුවා. හැමෝම එයාට බයෙන් හිටියේ.

ඒ කාලේ හිටපු උත්තම පූජකයාගේ නම යෙහෝයාදා. එයාගේ බිරිඳගේ නම යෙහෝෂෙබා. ඒ දෙන්නා එකතු වෙලා අතලියාගේ මුණුබුරෙක් වුණ යෙහෝයාෂ්ව බේරගෙන එයාව දේවමාලිගාවේ හැංගුවා.

යෙහෝයාෂ්ට වයස හතක් වුණාම යෙහෝයාදා ලෙවීවරුන්ටයි ප්‍රධානීන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. ‘දේවමාලිගාව හොඳට මුර කරන්න. කාටවත් එන්න දෙන්න එපා.’ ඊළඟට එයා යෙහෝයාෂ්ව යූදා දේශයේ රජ විදිහට පත් කළා. එතකොට සෙනඟ හැමෝම කෑගහලා කිව්වා ‘රජතුමා දිගු කල් ජීවත් වේවා’ කියලා.

සෙනඟ කෑගහනවා ඇහිලා අතලියා දේවමාලිගාවට ඉක්මනින්ම ගියා. අලුත් රජුව දැක්කම එයා කෑගහලා කිව්වා ‘මේක මහා කුමන්ත්‍රණයක්, මහා කුමන්ත්‍රණයක්’ කියලා. එතකොට ප්‍රධානීන් අතලියාව අල්ලගෙන ගිහින් මරලා දැම්මා.

නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි කියලා යෙහෝවා දෙවි එක්ක ගිවිසුමක් ඇති කරගන්න යෙහෝයාදා සෙනඟට උදව් කළා. ඊටපස්සේ එයා සෙනඟට කිව්වා බාල්ගේ දේවාලයට ගිහින් ඒ පූජාසනයි රූපයි කඩලා දාන්න කියලා. දේවමාලිගාවේ වැඩ කරන්න එයා පූජකයන්වයි ලෙවීවරුන්වයි පත් කරපු නිසා සෙනඟට පුළුවන් වුණා ආයෙත් දේවමාලිගාවේ දෙවිට නමස්කාර කරන්න. අපිරිසිදු අය දේවමාලිගාවට එන එක නවත්තන්න එයා මුරකරුවන්වත් පත් කළා. ඊළඟට යෙහෝයාෂ්ව රජමාලිගාවට අරන් ගිහින් එයාට සිංහාසනයේ වාඩි වෙන්න කිව්වා. යූදා දේශයේ හැමෝම හුඟක් සතුටු වුණා. අතලියායි බාල් නමස්කාරයයි නැති නිසා නිදහසේ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න සෙනඟට පුළුවන් වුණා. යෙහෝයාදාගේ නිර්භීතකම නිසා ගොඩක් අයට ප්‍රයෝජන ලැබුණ විදිහ ඔයා දැක්කද?

“ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න. නමුත් ඔබව ගෙහෙන්නාවට නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.”—මතෙව් 10:28