Skip to content

පටුනට යන්න

54වෙනි පාඩම

යෙහෝවා දෙවි යෝනා ගැන ඉවසුවා

යෙහෝවා දෙවි යෝනා ගැන ඉවසුවා

නිනිවය කියන නගරයේ හිටියේ හුඟක් නරක මිනිස්සු. අනාගතවක්තෘවරයෙක් වන යෝනාට යෙහෝවා දෙවි කිව්වා නිනිවයට ගිහින් ඒ සෙනඟ කරන නරක වැඩ නවත්තන්න කියන්න කියලා. ඒත් යෝනා ඒක කරන්නේ නැතුව තර්ෂිෂ්වලට යන නැවක නැඟලා ගියා.

හැබැයි අතරමඟදී ලොකු කුණාටුවක් ආවා. නැවේ හිටපු හැමෝම හුඟක් බය වුණා. ඒ අය එයාලගේ දෙවිවරුන්ගෙන් ඇහුවා ‘ඇයි මෙහෙම වෙන්නේ’ කියලා. අන්තිමේදී යෝනා එයාලට මෙහෙම කිව්වා. ‘මේ කුණාටුව ඇති වුණේ මං නිසයි. යෙහෝවා දෙවි මට කරන්න කිව්ව වැඩක් මං කළේ නැහැ. මාව මුහුදට දාන්න. එතකොට කුණාටුව නවතියි.’ ඒත් නැවේ හිටපු අය ඒකට කැමති වුණේ නැහැ. හැබැයි යෝනා බල කරපු නිසා එයාලා යෝනාව මුහුදට දැම්මා. එතකොටම කුණාටුව නැවතුණා.

මුහුදේ ගිලෙද්දී යෝනා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එතකොට යෙහෝවා දෙවි ලොකු මාළුවෙක්ව එව්වා. ඒ මාළුවා යෝනාව ගිල්ලත් එයා මැරුණේ නැහැ. එයා මාළුවාගේ බඩේ ඉඳන් යෙහෝවා දෙවිට පොරොන්දු වුණා ‘ඔබ කියන ඕනෙම දෙයක් කරන්නම්’ කියලා. යෝනා මාළුවගේ බඩේ දවස් තුනක් හිටියට පස්සේ මාළුවා මුහුදු වෙරළ ළඟට ඇවිත් යෝනාව කටෙන් එළියට දැම්මා. යෙහෝවා දෙවියි එහෙම වෙන්න සැලැස්සුවේ.

යෙහෝවා දෙවි යෝනාට ආයෙත් කිව්වා නිනිවයට යන්න කියලා. මේ වතාවේ නම් යෝනා කීකරු වුණා. එයා නිනිවයට ගිහින් එහෙ හිටිය නරක මිනිස්සුන්ට කිව්වා ‘දවස් 40කින් නිනිවය විනාශ වෙනවා’ කියලා. සිද්ධ වුණේ හිතපු නැති දෙයක්. නිනිවයේ හිටපු හැමෝම යෝනා කියපු දේ අහලා නරක වැඩ කරන එක නැවැත්තුවා. නිනිවයේ රජ සෙනඟට කිව්වා ‘දෙවිට යාච්ඤා කරලා, කරපු වැරදි ගැන දුක් වෙන්න, සමහරවිට ඔහු අපිට සමාව දෙයි’ කියලා. සෙනඟ දුක් වෙන හැටි දැකපු යෙහෝවා දෙවි නිනිවය විනාශ කරන්නේ නැහැ කියලා තීරණය කළා.

නිනිවය විනාශ කළේ නැති එක ගැන යෝනා හිටියේ තරහෙන්. පොඩ්ඩක් හිතන්න. යෙහෝවා දෙවි යෝනා ගැන ඉවසුවා, එයාට සමාව දුන්නා. ඒත් යෝනා නිනිවයේ අයට එහෙම සැලකුවේ නැහැ. එයා නගරෙන් පිට තැනක තිබුණු ලබු වැලක් යටට වෙලා නගරේ දිහා බලාගෙන හිටියා. ඒ ලබු වැල මැරුණම යෝනාට හුඟක් කේන්ති ගියා. යෙහෝවා දෙවි යෝනාට මෙහෙම කිව්වා. ‘ඔයා නිනිවයේ මිනිස්සු ගැන හිතනවාට වඩා මේ ලබු වැල ගැන හිතනවා. මං එයාලට සමාව දුන්න නිසා එයාලා බේරුණා.’ ඒකෙන් දෙවි පෙන්නුවේ ඕනෙම ගහකට වඩා නිනිවයේ හිටපු මිනිස්සු දෙවිට වටිනවා කියන එකයි.

‘යෙහෝවා දෙවි කිසි කෙනෙකු විනාශ වෙනවාට කැමති නොවන අතර ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමය. එහෙයින් ඔහු ඔබ ගැන ඉවසන්නේය.’—2 පේතෘස් 3:9