Skip to content

පටුනට යන්න

55වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ දූතයා හෙසකියාව ආරක්ෂා කළා

යෙහෝවා දෙවිගේ දූතයා හෙසකියාව ආරක්ෂා කළා

ඇසිරියාවේ සෙනකෙරිබ් රජ ඊශ්‍රායෙල් රාජ්‍යය අල්ලගත්තා. එයාට ඕනෙ වුණා යූදා රාජ්‍යයත් අල්ලගන්න. එයා යූදා රාජ්‍යයේ නගර එකින් එක අල්ලගන්න පටන්ගත්තා. එයාට වැඩියෙන්ම ඕනෙ වුණේ යෙරුසලම අල්ලගන්න. ඒත් යෙහෝවා දෙවි යෙරුසලම ආරක්ෂා කරනවා කියලා සෙනකෙරිබ් දැනගෙන හිටියේ නැහැ.

ඒ කාලේ යූදා රාජ්‍යයේ රජ වෙලා හිටියේ හෙසකියා. යෙරුසලම අල්ලගන්න එපා කියලා එයා සෙනකෙරිබ්ට හුඟක් සල්ලි දුන්නා. ඒත් එයා යෙරුසලම අල්ලගන්න එක නතර කළේ නැහැ. එයා එවපු හමුදාව යෙරුසලමට ළං වෙද්දී එහෙ හිටපු අය හුඟක් බය වුණා. ඒත් හෙසකියා එයාලට මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. ඇසිරියානු හමුදාව බලවත් තමයි. ඒත් යෙහෝවා දෙවි අපිව එයාලටත් වඩා බලවත් කරයි.’

සෙනකෙරිබ් රබ්ෂාකේව යෙරුසලමට එවලා එහෙ හිටපු අයට විහිළු කළා. එයා මෙහෙම කිව්වා. ‘ඔයාලට උදව් කරන්න යෙහෝවා දෙවිට බැහැ. ඔයාලව රවට්ටන්න හෙසකියාට ඉඩ දෙන්න එපා. ඔයාලව අපෙන් බේරගන්න කිසිම දෙවි කෙනෙකුට බැහැ.’

කරන්න ඕනෙ දේ හෙසකියා යෙහෝවා දෙවිගෙන් ඇහුවම දෙවි මෙහෙම කිව්වා. ‘රබ්ෂාකේට බය වෙන්න එපා. සෙනකෙරිබ්ට යෙරුසලම අල්ලගන්න ලැබෙන්නෑ.’ ඊටපස්සේ සෙනකෙරිබ් හෙසකියාට ලියුම් එවලා කිව්වා ‘දැන් යටත් වෙන්න, ඔයාලව බේරගන්න යෙහෝවා දෙවිට බෑ’ කියලා. හෙසකියා මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, අපිව බේරගන්න. ඔබයි සැබෑ දෙවි කියලා එතකොට හැමෝම දැනගනියි.’ යෙහෝවා දෙවි කිව්වා ‘ඇසිරියානුවන්ට යෙරුසලමට එන්න ලැබෙන්නෑ. මං මගේ නගරේ ආරක්ෂා කරනවා’ කියලා.

යෙරුසලම අල්ලගන්න පුළුවන් කියලයි සෙනකෙරිබ් හිතුවේ. ඒත් දවසක් රෑ ඇසිරියානු හමුදාව කඳවුරේ ඉද්දී යෙහෝවා දෙවි දූතයෙක්ව එවලා සෙබළු 1,85,000ක් මරලා දැම්මා. සෙනකෙරිබ්ට වුණේ පැරදිලා හිස් අතින් හැරිලා යන්න. යෙහෝවා දෙවි පොරොන්දු වුණා වගේම හෙසකියාවයි යෙරුසලමයි ආරක්ෂා කළා. ඔයා යෙරුසලමේ හිටියා නම් ඔයාත් යෙහෝවා දෙවිව විශ්වාස කරයිද?

“යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ ඔවුන්ව ගලවාගන්නේය.”—ගීතාවලිය 34:7