Skip to content

පටුනට යන්න

59වෙනි පාඩම

යෙහෝවා දෙවිට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්

යෙහෝවා දෙවිට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්

නෙබුකද්නෙෂර් රජ යූදා දේශයේ රජ පවුල්වල යෞවනයන්ව බැබිලෝනියට අරන් ගියා. එයාලා අතරින් කඩවසම්, නිරෝගී ශරීරයක් තියෙන අයව තෝරගන්න කියලා රජ එයාලගේ ප්‍රධානියා විදිහට පත් කරපු අෂ්පෙනස්ට කිව්වා. බැබිලෝනියේ නිලධාරීන් විදිහට වැඩ කරන්න එයාලට අවුරුදු තුනක පුහුණුවක් දෙන්න හිතාගෙනයි රජ එහෙම කිව්වේ. බැබිලෝනිවරු කතා කරපු අක්කාඩියානු භාෂාව ලියන්න, කියවන්න වගේම කතා කරන්නත් ඉගෙනගන්න කියලා එයාලට කිව්වා. රජට කන්න දීපු කෑමම තමයි එයාලටත් දුන්නේ. දානියෙල්, හනනියා, මිෂායෙල්, අෂරියා කියන යෞවනයන් හතරදෙනත් එයාලා අතරේ හිටියා. අෂ්පෙනස් එයාලට බෙල්ටෂසර්, ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කියන බැබිලෝනියේ නම් දැම්මා.

ඒ යෞවනයන් හතරදෙනාට ඕන වුණේ දිගටම යෙහෝවා දෙවිට කීකරුව ඉන්න. එයාලට දීපු සමහර කෑම යෙහෝවා දෙවිගේ නීතියට අනුව අපවිත්‍රයි කියලා එයාලා දැනගෙන හිටියා. ඒ නිසා එයාලා අෂ්පෙනස්ට කිව්වා ‘රජුට දෙන කෑම අපිට දෙන්න එපා’ කියලා. ඒත් අෂ්පෙනස් කිව්වා ‘ඔයාලා කන්නේ නැතුව ඔයාලගේ මූණු මැලවිලා තියෙනවා දැක්කොත් රජු මාව මරලා දායි’ කියලා.

දානියෙල්ට හොඳ අදහසක් ආවා. එයාලව බලාගත්ත නිලධාරියාට එයා මෙහෙම කිව්වා. ‘අපිට දවස් දහයක් එළවළුයි වතුරයි විතරක් දෙන්න. ඊටපස්සේ රජුගේ කෑම කන යෞවනයනුයි අපියි අතරේ වෙනසක් තියෙනවද කියලා බලන්න.’ නිලධාරියා ඒකට කැමති වුණා.

දවස් දහයකට පස්සේ බලද්දී අනිත් යෞවනයන්ට වඩා එයාලට හොඳ පෙනුමක් තිබුණා. එයාලා යෙහෝවා දෙවිට කීකරු වුණු එක ගැන දෙවි කොච්චර සතුටු වෙන්න ඇද්ද! දෙවි දර්ශනවලත් හීනවලත් තේරුම තෝරලා දෙන්න දානියෙල්ට උදව් කළා.

පුහුණුව ඉවර වුණාම අෂ්පෙනස් යෞවනයන්ව රජු ළඟට ගෙනිච්චා. අනිත් යෞවනයන්ට වඩා දානියෙල්, හනනියා, මිෂායෙල්, අෂරියා හුඟක් දක්ෂයි කියලා තේරුණු නිසා රජමාලිගාවේ සේවය කරන්න රජ එයාලව තෝරගත්තා. වැදගත් කාරණා ගැන තීරණ ගද්දී රජ එයාලගෙනුත් ඒ ගැන ඇහුවා. රජුට හිටිය මන්තර ගුරුකම් කරපු, බුද්ධිමත් මිනිසුන්ට වඩා වැඩි දැනුමක් යෙහෝවා දෙවි එයාලට දීලයි තිබුණේ.

වෙන දේශයක ජීවත් වෙන්න සිද්ධ වුණත් දානියෙල්, හනනියා, මිෂායෙල්, අෂරියා යෙහෝවා දෙවිව අමතක කළේ නැහැ. අම්මයි තාත්තයි ළඟ නැති වුණත් ඔයාටත් හැම තිස්සෙම යෙහෝවා දෙවිව මතක තියෙයිද?

“ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න. ඔබ කතා කරන ආකාරයෙන්ද ඔබේ හැසිරීමෙන්ද ඔබේ ප්‍රේමයෙන්ද විශ්වාසයෙන්ද නිර්මලකමින්ද දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වන්න.”—1 තිමෝති 4:12