Skip to content

පටුනට යන්න

61වෙනි පාඩම

එයාලා රූපයට වැන්දේ නැහැ

එයාලා රූපයට වැන්දේ නැහැ

නෙබුකද්නෙෂර් රජ හීනේ දැකලා කාලයක් ගියාට පස්සේ එයා රත්තරන්වලින් ලොකු රූපයක් හදලා ඒක දූරා කියන තැනිතලාවේ තිබ්බා. ඊටපස්සේ ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ වගේ වැදගත් අයට එතනට එන්න කියලා රජ මෙහෙම කිව්වා. ‘හොරණෑ, වීණා වගේ සංගීත භාණ්ඩ වාදනය කරනවා ඇහෙද්දී හැමෝම මේ රූපය ඉස්සරහා වැඳ වැටෙන්න ඕනේ. එහෙම කරන්නේ නැති ඕනෙම කෙනෙක්ව ඇවිළෙන ගිනි උදුනකට දානවා.’

ඊටපස්සේ සංගීතය ඇහෙන්න සලස්වන්න කියලා රජ අණ කළා. හැමෝම ඒ රූපය ඉස්සරහා වැඳ වැටුණත් ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ එහෙම කළේ නැහැ. රජ ඒ ගැන දැනගත්තම එයා මෙහෙම කිව්වා. ‘මං ඔයාලට තව අවස්ථාවක් දෙන්නම්. මේ වතාවෙත් ඔයාලා රූපය ඉස්සරහා වැඳ වැටුණේ නැත්නම් ඔයාලව ඇවිළෙන ගිනි උදුනට දානවා. කිසිම දෙවි කෙනෙකුට බැරි වෙයි ඔයාලව බේරගන්න.’ එතකොට එයාලා මෙහෙම කිව්වා. ‘අපිට තව අවස්ථාවක් ඕනෙ නැහැ. අපේ දෙවිට පුළුවන් අපිව බේරගන්න. දෙවි අපිව බේරගත්තත් නැතත් රජතුමෙනි, අපි නම් මේ රූපය ඉස්සරහා වැඳ වැටෙන්නේ නැහැ.’

නෙබුකද්නෙෂර් රජට හොඳටම කේන්ති ගිහින් සේවකයන්ට මෙහෙම කිව්වා. ‘ගිනි උදුනේ උෂ්ණත්වය හත්ගුණයකින් වැඩි කරන්න. මෙයාලව ගැටගහලා ගිනි උදුනට දාන්න.’ ගිනි උදුන හොඳටම රත් වෙලා තිබුණු නිසා සේවකයන් ඒ ළඟට යද්දිම එයාලව මැරුණා. හැබැයි ගිනි උදුනට වැටුණු හෙබ්‍රෙව් තරුණයන්ට නම් කිසිම දෙයක් වුණේ නැහැ. නෙබුකද්නෙෂර් රජ උදුන දිහා බලද්දී ඒක ඇතුළේ තවත් කෙනෙක් ඉන්නවා එයා දැක්කා. ඒ නිසා එයා හොඳටම බය වෙලා එයාගේ අධිපතීන්ට මෙහෙම කිව්වා. ‘අපි උදුනට දැම්මේ තුන්දෙනෙක්ව විතරයි නේද? ඒත් දැන් හතරදෙනෙක් ඉන්නවා. එයා හරියට දේවදූතයෙක් වගෙයි.’

ඊටපස්සේ රජ උදුනේ දොර ළඟට ගිහින් කිව්වා ‘මහෝත්තම දෙවිගේ සේවකයෙනි, එළියට එන්න’ කියලා. ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කිසිම හානියක් නැතුව උදුනෙන් එළියට එද්දී එතන ඉන්න හැමෝම හුඟක් පුදුම වුණා. එයාලගේ කොණ්ඩෙටවත් හමටවත් ඇඳුම්වලටවත් මුකුත්ම වෙලා නැහැ. අඩුම තරමේ එයාලා ළඟින් දුම් ගඳක්වත් ආවේ නැහැ.

අන්තිමේදී නෙබුකද්නෙෂර් රජ මෙහෙම කිව්වා. ‘ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවි තමයි උසස්ම දෙවි. දේවදූතයෙක්ව එවලා ඔහු මෙයාලව බේරගත්තා. ඒ වගේ දෙවි කෙනෙක් නම් තවත් නැහැ.’

ඒ හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා වගේ ඔයාටත් පුළුවන්ද මොන දේට මූණ දෙන්න සිද්ධ වුණත් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න?

“ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.”—මතෙව් 4:10