Skip to content

පටුනට යන්න

62වෙනි පාඩම

හීනෙන් දැකපු ගහේ තේරුම

හීනෙන් දැකපු ගහේ තේරුම

දවසක් නෙබුකද්නෙෂර් රජ හුඟක් බය හිතෙන හීනයක් දැක්කා. ඒකේ තේරුම දැනගන්න බුද්ධිමත් මිනිසුන්ට කතා කළත් කාටවත් ඒකේ තේරුම කියන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා රජ දානියෙල්ට කතා කළා.

දැකපු හීනෙ රජ දානියෙල්ට විස්තර කළේ මෙහෙමයි. ‘මං ලොකු ගහක් දැක්කා. ඒක අහස උසටම වැවුණා. පොළොවේ කොහේ ඉඳන් බැලුවත් ඒක පෙනුණා. ඒ ගහේ හරිම ලස්සන කොළත් හුඟක් පලතුරුත් තිබුණා. සත්තු ඒ ගහ යටට ඇවිත් හාන්සි වෙලා හිටියා. ගහේ අතුවල කුරුල්ලන් කූඩු හදාගත්තා. එකපාරටම දේවදූතයෙක් ඇවිත් මෙහෙම කිව්වා. “ගහ කපලා දාන්න. අතුත් කපන්න. හැබැයි කඳ උගුලන්න එපා. ඒක යකඩ පටිවලිනුත් තඹ පටිවලිනුත් බඳින්න. මිනිසෙකුගේ හිතක් වෙනුවට ඒ ගහට කැලේ සතෙක්ගේ හිතක් දෙයි. කාලවල් හතක්ම ඒ විදිහට පහු වෙයි. සැබෑ පාලකයා දෙවි කියලත් දෙවි කැමති ඕනෙම කෙනෙක්ට රාජ්‍යය භාර දෙන්න ඔහුට පුළුවන් කියලත් හැමෝම දැනගනියි.”’

යෙහෝවා දෙවි ඒ හීනේ තේරුම දානියෙල්ට පැහැදිලි කරලා දුන්නම එයා හුඟක් බය වෙලා රජුට මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, ඔබ දැකපු දේ ඔබේ සතුරන්ට වුණා නම් හොඳයි. ඒත් ඒ දේ වෙන්නේ ඔබට. ඔබ දැකපු ගහෙන් නියෝජනය වෙන්නේ ඔබව. ඔබේ රජකම නැති වෙනවා. කැලෑවේ සතෙක් වගේ ඔබත් තණකොළ කයි. හැබැයි ගහේ කඳ ඉතුරු කරන්න කියලා දේවදූතයා කියපු නිසා ආයෙත් රජ වෙන්න ඔබට පුළුවන් වෙනවා.’

අවුරුද්දකට පස්සේ දවසක් නෙබුකද්නෙෂර් රජ එයාගේ මාලිගාවේ සඳලුතලයේ ඉඳන් බැබිලෝනිය දිහා බලාගෙන ඇවිද ඇවිද ඉද්දී එයාටම මෙහෙම කියාගත්තා. ‘මං හදපු මේ නගරය මොන තරම් තේජවත්ද! මං මොන තරම් ශ්‍රේෂ්ඨද!’ ඒ වෙලාවේ ස්වර්ගයෙන් ආපු කටහඬකින් මෙහෙම කිව්වා. ‘නෙබුකද්නෙෂර්! දැන් ඔයාගේ රජකම නැති වෙනවා.’

එතකොටම නෙබුකද්නෙෂර්ට කල්පනාව නැතිව ගිහින් කැලේ සතෙක් වගේ හැසිරෙන්න පටන්ගත්තා. එයාව රජමාලිගාවෙන් පන්නපු නිසා එයාට ජීවත් වෙන්න වුණේ සත්තුත් එක්ක. එයාගේ කොණ්ඩේ රාජාලියෙකුගේ පිහාටු වගේ වැවුණා. නියපොතු කුරුල්ලෙක්ගේ නියපොතු වගේ වැවුණා.

අවුරුදු හතකට පස්සේ නෙබුකද්නෙෂර්ට ආපහු කල්පනාව ලැබුණම යෙහෝවා දෙවි එයාට රජකම දුන්නා. එයා ඒ ගැන කිව්වේ මෙහෙමයි. ‘ස්වර්ගයේ රජු වන යෙහෝවා දෙවිට මං ප්‍රශංසා කරනවා. යෙහෝවා දෙවි තමයි සැබෑ පාලකයා කියලා දැන් මං දන්නවා. ඔහු උඩඟු අයව නිහතමානි වෙන්න සලස්වනවා. ඔහු කැමති ඕනෙම කෙනෙක්ට රජකම දෙන්න ඔහුට පුළුවන්.’

“විනාශයට මුල උඩඟුකමය. වැටීමට හේතුව අහංකාර සිතකි.”—හිතෝපදේශ 16:18