Skip to content

පටුනට යන්න

64වෙනි පාඩම

දානියෙල් සිංහ ගුහාවේ

දානියෙල් සිංහ ගුහාවේ

බැබිලෝනියේ රජ වෙලා හිටිය මේදීය ජාතික දාරියුස් දැනගෙන හිටියා දානියෙල් විශේෂ කෙනෙක් කියලා. ඒ නිසා රජ එයාව දේශයේ උසස් නිලධාරීන්ගේ නායකයා විදිහට පත් කළා. ඒ ගැන නිලධාරීන් හිටියේ ඊර්ෂ්‍යාවෙන්. දානියෙල් දවසට තුන්පාරක් යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා කියලා දැනගෙන හිටිය එයාලා දාරියුස් රජු ළඟට ගිහින් මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, ඔබට හැර වෙන කෙනෙක්ට යාච්ඤා කරන අයව සිංහ ගුහාවට දාන්න නීතියක් හදන්න අවසර දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා.’ රජත් ඒකට කැමති වෙලා ඒ නීතිය සඳහන් ලියවිල්ල අත්සන් කළා.

දානියෙල් ඒ ගැන දැනගත්තම එයා වෙනදා වගේම ගෙදර ගිහින් ඇරලා තිබුණු ජනේලේ ළඟ ඉඳන් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. උසස් නිලධාරීන් ඒක දැකලා රජුට මෙහෙම කිව්වා. ‘රජතුමෙනි, දානියෙල් ඔබේ නීතිය කඩලා එයාගේ දෙවියන්ට දවසට තුන්වතාවක්ම යාච්ඤා කරනවා.’ දාරියුස් රජ දානියෙල්ව මරන්න කැමති වුණේ නැති නිසා එයාව බේරගන්න ක්‍රමයක් හෙව්වා. ඒත් රජ දාපු නීතියක් වෙනස් කරන්න රජටවත් අවසර තිබුණේ නැති නිසා රජට සිද්ධ වුණා දානියෙල්ව සිංහ ගුහාවට දාන්න කියලා කියන්න.

එදා රෑ රජට නින්ද ගියෙත් නැහැ. එයා පහුවෙනිදා උදෙන්ම සිංහ ගුහාව ළඟට ගිහින් දානියෙල්ට කතා කරලා ඇහුවා ‘අනේ දානියෙල් ඔයාගේ දෙවි ඔයාව බේරගත්තද’ කියලා.

එතකොටම දානියෙල් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි දේවදූතයෙක්ව එවලා සිංහයන්ගේ කටවල් වහලා දැම්මා.’ දාරියුස් රජ හුඟක් සතුටු වෙලා දානියෙල්ව ගුහාවෙන් එළියට ගන්න කියලා අණ කළා. දානියෙල්ට පොඩ්ඩක්වත් තුවාල වෙලා තිබුණේ නැහැ. ‘දානියෙල් ගැන චෝදනා කරපු අයව සිංහ ගුහාවට දාන්න’ කියලා රජ අණ කළා. එයාලව ගුහාවට දැම්මාම සිංහයෝ එයාලව කෑලි කෑලිවලට ඉරුවා.

ඊටපස්සේ දාරියුස් රජ මෙහෙම අණ කළා. ‘හැමෝම දානියෙල්ගේ දෙවි ඉදිරියේ බයෙන් ඉන්න. ඔහු දානියෙල්ව සිංහයන්ගෙන් බේරගත්තා.’

දානියෙල් වගේ ඔයාත් හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවද?

“දෙවිට භක්තියක් ඇතුව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කෙසේද කියා යෙහෝවා දෙවි දන්නේය.”—2 පේතෘස් 2:9