Skip to content

පටුනට යන්න

66වෙනි පාඩම

එස්රා දෙවිගේ නීතිය ඉගැන්නුවා

එස්රා දෙවිගේ නීතිය ඉගැන්නුවා

ඊශ්‍රායෙල්වරු යෙරුසලමට ගිහින් අවුරුදු 70ක් විතර ගත වෙලා තිබුණා. එහෙම ගියේ නැති අය පර්සියානු අධිරාජ්‍යයේ පදිංචි වෙලා හිටියා. පූජක එස්රා ඒ වගේ කෙනෙක්. යෙරුසලමේ ඉන්න අය දෙවිගේ නීතිය පිළිපදින්නේ නැහැ කියලා දැනගන්න ලැබුණාම එයාට ඕනෙ වුණා එයාලට උදව් කරන්න. පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා ඒකට එස්රාට අවසර දීලා මෙහෙම කිව්වා. ‘දෙවි ඔයාට ප්‍රඥාව දීලා තියෙන නිසා එයාලට දෙවිගේ නීතිය ගැන උගන්වන්න ඔයාට පුළුවන්. කැමති හැමෝවම එක්කන් යන්න.’ එස්රායි යෙරුසලමට යන්න කැමති අයයි ඒ ගමන පිටත් වෙන්න කලින් යෙහෝවා දෙවිට යාච්ඤා කරලා කිව්වා එයාලව ආරක්ෂා කරන්න කියලා.

මාස හතරකට පස්සේ එයාලා යෙරුසලමට ආවාම එහෙ හිටපු අධිපතීන් එස්රාට මෙහෙම කිව්වා. ‘ඊශ්‍රායෙල්වරු දෙවිට අකීකරු වෙලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන ගැහැනු අයව විවාහ කරගෙන.’ එතකොට එස්රා සෙනඟ ඉස්සරහම දණ ගහලා දෙවිට මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ අපි වෙනුවෙන් ගොඩක් දේවල් කළා. ඒත් අපි ඔබට අකීකරු වුණා.’ සෙනඟ එයාලා කරපු වැරදි ගැන දුක් වුණත් සමහර වැරදි හදාගත්තේ නැහැ. ඒ නිසා එස්රා වැඩිමහල්ලන්ටයි විනිශ්චයකරුවන්ටයි කිව්වා ඒ ගැන බලන්න කියලා. දෙවිට සේවය කරපු නැති අයව යෙරුසලමෙන් පිටත් කරලා ඇරියා.

ඔය විදිහට අවුරුදු 12ක් ගත වුණා. යෙරුසලමේ තාප්ප හදලා ඉවර වුණාට පස්සේ දවසක් එස්රා හැමෝටම ප්‍රධාන මංසන්ධියට එන්න කිව්වා. එයා දෙවිගේ නීතිය තියෙන ලියවිල්ල දිගඇරියම හැමෝම නැඟිට්ටා. ඊටපස්සේ එස්රා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරද්දී සෙනඟත් අත් උස්සලා දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තා. එස්රා නීතිය තියෙන ලියවිල්ල කියවලා ඒක තේරුම් කරලා දෙද්දී සෙනඟ හොඳට අහගෙන හිටියා. දෙවිට අකීකරු වෙලා කියලා තේරුණාම එයාලා ගොඩක් දුක් වුණා. ඊළඟ දවසෙත් එස්රා ඒ ලියවිල්ල කියෙව්වා. හැමෝම තේරුම්ගත්තා පැල් උත්සවය පවත්වන්න කාලේ හරි කියලා. ඉක්මනටම ඒගොල්ලන් ඒක පවත්වන්න ලෑස්ති වුණා.

පැල් උත්සවය පවත්වපු දවස් හතේදී සෙනඟ ගොඩක් සතුටු වුණා. හොඳ අස්වැන්නක් දුන්නට එයාලා යෙහෝවා දෙවිට ස්තුති කළා. පැල් උත්සවයෙන් පස්සේ සෙනඟ ආයෙත් එකතු වෙලා මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ අපිව වහල්කමින් බේරගත්තා. පාළුකරයෙදී අපිව බලාගත්තා. අපිට ලස්සන දේශයක් දුන්නා. ඒත් අපි ඔබට අකීකරු වුණා. අනාගතවක්තෘවරුන්ව එවලා අනතුරු ඇඟෙව්වත් අපි ඇහුම්කන් දුන්නේ නෑ. ඒත් ඔබ ඉවසුවා. ආබ්‍රහම්ට දීපු පොරොන්දුව ඒ විදිහටම රැක්කා. අපි දිගටම ඔබට කීකරු වෙනවා කියලා දැන් අපි පොරොන්දු වෙනවා.’ ඊටපස්සේ එයාලා ඒ පොරොන්දුව ලියවිල්ලක ලිව්වම අධිපතීනුයි ලෙවීවරුයි පූජකයනුයි ඒක අත්සන් කළා.

“ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.”—ලූක් 11:28