Skip to content

පටුනට යන්න

69වෙනි පාඩම

ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි

ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි

ගලීලයේ නාසරෙත්වල හිටිය මරියා වඩු වැඩ කරන යෝසෙප් එක්ක විවාහ ගිවිසගෙනයි හිටියේ. එලිසබෙත් ගැබ්අරන් මාස හයකට පස්සේ ගාබ්‍රියෙල් ඇවිත් මරියාට මෙහෙම කිව්වා. ‘සුභ දවසක්! ඔයාට යෙහෝවා දෙවි ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.’ දේවදූතයා කියපු දේ මරියාට තේරුණේ නැහැ. ඒ නිසා ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘ඔයාට පුතෙක් ලැබෙයි. එයාට යේසුස් කියලා නම තියන්න. එයා රජෙක් වෙනවා. ඒ රාජ්‍යයට අවසානයක් නැහැ.’

‘ඒත් මං තාම පිරිමි කෙනෙක් එක්ක එකට ජීවත් වෙලා නෑනේ. මට කොහොමද දරුවෙක් ලැබෙන්නේ’ කියලා මරියා අහපුවම ගාබ්‍රියෙල් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවිට කරන්න බැරි දෙයක් නෑ. දෙවිගේ බලය නිසා ඔයාට පුතෙක් ලැබෙයි. එලිසබෙත්ටත් දරුවෙක් ලැබෙන්නයි යන්නේ.’ එතකොට මරියා මෙහෙම කිව්වා. ‘මම යෙහෝවා දෙවිගේ දාසියක්. ඔබ කියපු දේ ඒ විදිහටම සිදු වේවා!’

මරියා කඳුකරයේ හිටිය එලිසබෙත්ව බලන්න ගිහින් සුභ පැතුවම එලිසබෙත්ගේ බඩේ හිටිය දරුවා දැඟලුවා. එලිසබෙත්ට දෙවිගේ බලය ලැබිලා එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි ඔයාට ආශීර්වාද කරලා තියෙනවා. මගේ ස්වාමීන්ගේ අම්මා ආපු එක මට ගෞරවයක්.’ ඒ වෙලාවේ මරියා කිව්වා ‘මමත් මගේ මුළු හිතින්ම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරනවා’ කියලා. මරියා මාස තුනක්ම එහේ ඉඳලා ආයෙත් නාසරෙත්වලට ගියා.

මරියාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම යෝසෙප් එයාව දික්කසාද කරන්න හිතුවා. ඒත් දේවදූතයෙක් යෝසෙප්ට මෙහෙම කිව්වා. ‘මරියාව විවාහ කරගන්න බය වෙන්න එපා. එයා කිසිම වරදක් කරලා නෑ.’ ඉතින් යෝසෙප් මරියාව විවාහ කරගෙන එයාගේ ගෙදරට එක්කන් ගියා.

‘අහසෙත් පොළොවෙත් තම කැමැත්ත පරිදි යෙහෝවා දෙවි බොහෝ දේවල් කර ඇත.’—ගීතාවලිය 135:6