Skip to content

පටුනට යන්න

70වෙනි පාඩම

දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි

දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි

රෝම අධිරාජ්‍යයේ පාලකයා වුණු ඔගස්ටස් සීසර් යුදෙව්වන්ට කිව්වා එයාලගේ ගම්වලට ගිහින් ලියාපදිංචි වෙන්න කියලා. ඒ නිසා යෝසෙප් මරියාවත් එක්කගෙන එයාගේ ගම වුණු බෙත්ලෙහෙමට ගියා. ඒ වෙනකොට දරුවාව බිහි කරන්න කාලය ළං වෙලයි තිබුණේ.

බෙත්ලෙහෙමේ කිසිම තැනක නවතින්න ඉඩ තිබුණේ නැති නිසා එයාලා ගවමඩුවක නැවතුණා. එතනදී තමයි යේසුස් ඉපදුණේ. මරියා පුංචි පුතාව රෙදි පටිවලින් ඔතලා ගවඔරුවක තිබ්බා.

එදා රෑ බෙත්ලෙහෙමට කිට්ටු තැනක එඬේරු ටිකදෙනෙක් බැටළුවෝ බලාගෙන හිටියා. එකපාරටම දේවදූතයෙක් එයාලා ඉස්සරහට ආවම එතනට ලොකු එළියක් වැටුණා. එඬේරු බය වෙලා හිටිය නිසා දේවදූතයා මෙහෙම කිව්වා. ‘බය වෙන්න එපා. මං ආවේ ඔයාලට ශුභාරංචියක් කියන්න. බෙත්ලෙහෙමේ අද ගැලවුම්කරුවෙක් ඉපදුණා.’ එතකොටම තවත් දේවදූතයන් හුඟක් එතනට ඇවිත් මෙහෙම කිව්වා. ‘ස්වර්ගයේ ඉන්න දෙවිට ප්‍රශංසා වේවා! පොළොවේ ඉන්න මිනිසුන්ට සමාදානය වේවා!’ දේවදූතයන් ගියාට පස්සේ එඬේරු මොකද කළේ?

‘අපි දැන්ම බෙත්ලෙහෙමට යමු’ කියලා එයාලා කතා වුණා. එයාලා ඉක්මනටම ගිහින් ගවමඩුවේ හිටිය යෝසෙප්වයි මරියාවයි පුංචි පුතාවයි හොයාගත්තා.

දේවදූතයන් එඬේරුන්ට කිව්ව දේවල් අහලා හැමෝම හුඟක් පුදුම වුණා. මරියාත් ඒ දේවල් ගැන හොඳට හිතලා ඒ දේවල් එයාගේ හිතේ තියාගත්තා. ඊටපස්සේ එඬේරු එදා එයාලට අහන්න දකින්න ලැබුණු දේවල් ගැන යෙහෝවා දෙවිට ස්තුති කරකර ආපහු බැටළුවන් බලාගන්න ගියා.

“මම මෙහි ඇවිත් සිටින්නේ දෙවිගෙන් පැමිණි කෙනෙක් හැටියටයි. මම ආවේ මගේම කැමැත්ත නිසා නොවෙයි.”—යොහන් 8:42