Skip to content

පටුනට යන්න

71වෙනි පාඩම

යෙහෝවා දෙවි යේසුස්ව ආරක්ෂා කරයි

යෙහෝවා දෙවි යේසුස්ව ආරක්ෂා කරයි

ඊශ්‍රායෙල් දේශයේ නැඟෙනහිර පැත්තේ හිටිය සමහර අය විශ්වාස කළා එයාලට මඟ පෙන්වන්න තරුවලට පුළුවන් කියලා. දවසක් රෑ එහේ හිටිය කිහිපදෙනෙක් දැක්කා දිලිසෙන ලොකු තරුවක් වගේ එකක් අහසේ ගමන් කරනවා. ඉතින් එයාලා ඒක පස්සෙන් ගියා. තරුව නැවතුණේ යෙරුසලමේ. එයාලා එහේ ඉන්න අයගෙන් මෙහෙම ඇහුවා. ‘යුදෙව්වන්ව පාලනය කරන්න ඉපදුණ රජ ඉන්නේ කොහෙද? අපි ආවේ එයාට ගරුබුහුමන් කරන්න.’

එයාලා කියපු දේ යෙරුසලමේ රජ වුණු හෙරොද්ට ආරංචි වුණාම එයා හුඟක් කලබල වෙලා නායක පූජකයන්ගෙන් ඇහුවා ‘ඔය කියන රජ ඉපදෙන්නේ කොහෙද’ කියලා. එයාලා කිව්වා ‘බෙත්ලෙහෙමේ’ කියලා. හෙරොද් නැඟෙනහිර දේශයේ ඉඳන් ආපු අයට කතා කරලා මෙහෙම කිව්වා. ‘බෙත්ලෙහෙමට ගිහින් දරුවාව හොයාගන්න. එයා ඉන්න තැන දැනගත්තාම මට කියන්න. මටත් ඕනෙ එයාට ගරුබුහුමන් කරන්න.’

තරුව ආයෙත් ඉස්සරහට ගිහින් බෙත්ලෙහෙමේ ගේකට උඩින් නතර වුණා. නැඟෙනහිර දේශයෙන් ආපු අය මරියාවයි යේසුස්වයි දැක්කාම එයාලා යේසුස් ඉස්සරහා දණ ගහලා ගරුබුහුමන් කළා. ඊටපස්සේ එයාලා ළඟ තිබුණු රත්තරන්, කට්ටකුමංජල්, සුවඳ ලාටු තෑගි කළා. යේසුස්ව හොයාගන්න එයාලව එව්වේ යෙහෝවා දෙවිද? නැහැ.

එදා රෑ යෙහෝවා දෙවි යෝසෙප්ට මෙහෙම කිව්වා. ‘හෙරොද් හදන්නේ යේසුස්ව මරන්න. බිරිඳයි පුතායි එක්ක ඊජිප්තුවට ගිහින් මං කියන කල් එහේ නැවතිලා ඉන්න.’ යෝසෙප් ඉක්මනටම එයාලත් එක්ක ඊජිප්තුවට ගියා.

යෙහෝවා දෙවි නැඟෙනහිර දේශයෙන් ආපු අයට කිව්වා හෙරොද් ළඟට යන්න එපා කියලා. එයාලා එන්නේ නැහැ කියලා දැනගත්තාම හෙරොද්ට හුඟක් කේන්ති ගියා. යේසුස්ව හොයාගන්න බැරි නිසා එයා කිව්වා බෙත්ලෙහෙමේ ඉන්න යේසුස්ගේ වයසේ හැම පිරිමි ළමයෙක්වම මරලා දාන්න කියලා. ඒත් යේසුස් හිටියේ ඊජිප්තුවේ.

කාලෙකට පස්සේ හෙරොද් මැරුණාම යෙහෝවා දෙවි යෝසෙප්ට කිව්වා ‘ඔයාට දැන් ඊශ්‍රායෙල් දේශයට යන්න පුළුවන්’ කියලා. ඉතින් යෝසෙප් මරියායි යේසුයි එක්ක නාසරෙත්වල පදිංචි වුණා.

‘මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.’—යෙසායා 55:11