Skip to content

පටුනට යන්න

72වෙනි පාඩම

යේසුස්ගේ ළමා විය

යේසුස්ගේ ළමා විය

යෝසෙපුයි මරියායි යේසුස්වයි අනිත් දුවලා, පුතාලාවයි හදා වඩා ගත්තේ නාසරෙත් නුවරේ. වඩු වැඩ කරපු යෝසෙප් පවුලේ අයට යෙහෝවා දෙවි ගැනත් දෙවිගේ නීති ගැනත් කියලා දුන්නා. එයාලා පවුලක් විදිහට සිනගෝගයටයි හැම අවුරුද්දකම යෙරුසලමේ පවත්වපු පාස්කු උත්සවයටයි දිගටම ගියා.

යේසුස්ට වයස 12දීත් එයාලා යෙරුසලමට ගියා. පාස්කුව සමරන්න ඇවිත් හිටිය අයගෙන් මුළු නගරයම පිරිලයි තිබුණේ. උත්සවය ඉවර වුණාම යේසුස්ගේ පවුලේ අය ආපහු ගෙදර එන්න පිටත් වුණා. යෝසෙපුයි මරියායි හිතුවේ යේසුත් එයාලත් එක්ක පිටත් වෙන්න ඇති කියලයි. හැබැයි අතරමඟදී එයාලට තේරුණා යේසුස් එයාලගේ නෑදෑයන් අතරේවත් නැහැ කියලා.

ඒ නිසා එයාලා ආපහු යෙරුසලමට ගිහින් දවස් තුනක්ම යේසුස්ව හෙව්වා. අන්තිමේදී යේසුස් දේවමාලිගාවේ ඉන්නවා එයාලා දැක්කා. ඒ වෙද්දී යේසුස් ගුරුවරුන් මැද්දේ ඉඳන් එයාලා කියන දේවල් අහගෙන, එයාලගෙන් ප්‍රශ්නත් අහමිනුයි හිටියේ. යේසුස්ට තිබුණු දැනුම ගැන පුදුම වුණු ගුරුවරුන් යේසුස්ගෙන් ප්‍රශ්න ඇහුවා. යෙහෝවා දෙවිගේ නීතිය ගැන යේසුස්ට හොඳ දැනුමක් තියෙනවා කියලා එයාලා තේරුම්ගත්තා.

මරියා යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. ‘පුතේ, අපි ඔයාව හැම තැනම හෙව්වා. ඔයා කොහේද හිටියේ?’ යේසුස් උත්තර දුන්නේ මෙහෙමයි. ‘මගේ පියාගේ ගෘහයේ මං ඉන්න ඕනෙ කියලා දැනගෙන හිටියේ නැද්ද?’

ඊටපස්සේ යේසුස් දෙමාපියන් එක්ක නාසරෙත්වලට ගියා. යෝසෙප් වඩු වැඩ කරන විදිහ යේසුස්ට කියලා දුන්නා. යෞවන කාලෙදී යේසුස් මොන වගේ කෙනෙක් වෙන්න ඇද්ද? ප්‍රඥාවන්තව වැඩ කරපු යේසුස් දෙවි ඉදිරියේත් මිනිසුන් ඉදිරියේත් හොඳ නමක් දිනාගෙන තිබුණා.

“මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.”—ගීතාවලිය 40:8