Skip to content

පටුනට යන්න

75වෙනි පාඩම

යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා

යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා

යේසුස් බව්තීස්ම වුණාට පස්සේ පාළුකරයට යන්න දෙවි ඔහුට මඟ පෙන්නුවා. එහෙදී යේසුස් දවස් 40ක් මුකුත්ම කෑවේ නැහැ. යක්ෂයා ඔහුව වරදට හසු කරගන්න හිතාගෙන ‘ඔබ ඇත්තටම දෙවිගේ පුතෙක් නම් මේ ගල් රොටි කරන්න’ කියලා කිව්වා. යේසුස් කිව්වේ මෙහෙමයි. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත විතරක් නෙවෙයි. යෙහෝවා දෙවි කියන දේවලට ඇහුම්කන් දීමෙනුයි කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙනවා.’

ඊළඟට යක්ෂයා මෙහෙම කිව්වා. ‘ඔබ ඇත්තටම දෙවිගේ පුතෙක් නම් දේවමාලිගාවේ උසම තැනින් බිමට පනින්න. දේවදූතයන්ව එවලා දෙවි ඔබව ආරක්ෂා කරනවා කියලා ලියලා තියෙනවානේ.’ එතකොට යේසුස් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියලා පරීක්ෂා කරන්න එපා කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙනවා.’

ඊටපස්සේ යක්ෂයා ලෝකේ රාජ්‍යයන් පෙන්නලා කිව්වා ‘ඔබ මට එක සැරයක් නමස්කාර කළොත් මං මේ හැම දේම දෙන්නම්’ කියලා. ඒත් යේසුස් මෙහෙම කිව්වා. ‘සාතන් අහකට යන්න! ඔබ නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවිට විතරයි කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙනවා.’

යක්ෂයා ගියාට පස්සේ දේවදූතයන් යේසුස් ළඟට ඇවිත් කෑම දුන්නා. එදා ඉඳන් යේසුස් දේවරාජ්‍යය ගැන මිනිසුන්ට කියන්න පටන්ගත්තා. ඒ දේ කරන්න තමයි දෙවි යේසුස්ව පොළොවට එව්වේ. යේසුස් උගන්වපු දේවල් මිනිසුන් හරිම සතුටින් පිළිඅරන් ඔහුගේ අනුගාමිකයන් වුණා.

“ඔහු [යක්ෂයා] තුළ බලපවත්වන්නේ බොරුවයි. ඒ නිසා ඔහු පවසන්නේ බොරු පමණයි. මන්ද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියායි.”—යොහන් 8:44