Skip to content

පටුනට යන්න

77වෙනි පාඩම

ළිඳ ළඟට ආපු ස්ත්‍රිය

ළිඳ ළඟට ආපු ස්ත්‍රිය

පාස්කු උත්සවය ඉවර වෙලා ටික කාලෙකට පස්සේ යේසුත් ගෝලයනුත් සමාරිය කියන නුවර පහු කරගෙන ගලීලයට යන්න පිටත් වුණා. අතරමඟදී සිකාර් නුවර ළඟ තිබුණු යාකොබ්ගේ ළිඳ ළඟ යේසුස් නතර වුණේ ටිකක් විවේක ගන්න. ඒ වෙලාවේ ගෝලයන් කෑම ගේන්න ගියා.

ඒ ළිඳ ළඟට ස්ත්‍රියක් ආවා. යේසුස් එයාගෙන් ඇහුවා ‘මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද’ කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. ‘ඇයි ඔබ මගෙන් වතුර ඉල්ලන්නේ? මං සමරිතානුවෙක්. යුදෙව්වන් සමරිතානුවන් එක්ක කතා කරන්නේ නෑනේ.’ එතකොට යේසුස් කිව්වා ‘මං කවුද කියලා දන්නවා නම් ඔයා මගෙන් වතුර ඉල්ලයි. එතකොට මං ජීවනදායක වතුර දෙනවා’ කියලා. ‘ඔබ ළඟ බාල්දියක්වත් නෑනේ’ කියලා ස්ත්‍රිය කිව්වම යේසුස් මෙහෙම කිව්වා. ‘මං දෙන වතුර බොන අයට ආයෙ තිබහක් එන්නේ නෑ.’ එතකොට ස්ත්‍රිය කිව්වා ‘අනේ, මට ඒ වතුර දෙන්න පුළුවන්ද’ කියලා.

යේසුස් කිව්වා ‘ස්වාමිපුරුෂයාව එක්කන් එන්න’ කියලා. ‘මට ස්වාමිපුරුෂයෙක් නෑ’ කියලා ස්ත්‍රිය කිව්වම යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයා පස්වතාවක් විවාහ වුණත් දැන් ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ ස්වාමිපුරුෂයා එක්ක නෙවෙයි.’ ස්ත්‍රිය මෙහෙම කිව්වා. ‘ඔබ අනාගතවක්තෘවරයෙක්. අපි විශ්වාස කරන්නේ මේ කන්දේදී දෙවිට නමස්කාර කරන්න අපිට පුළුවන් කියලා. ඒත් යුදෙව්වන් කියන්නේ යෙරුසලමට යන්න ඕනෙ කියලා. ගැලවුම්කරු ආවාම හරි දේ අපිට උගන්වයි.’ එතකොට යේසුස් කිව්වා ‘මං තමයි ගැලවුම්කරු’ කියලා. යේසුස් ඒ ගැන කාටවත්ම කියලා තිබුණේ නැහැ.

ස්ත්‍රිය ඉක්මනටම ගිහින් සමරිතානුවන්ට මෙහෙම කිව්වා. ‘මං කරපු හැම දේම කිව්ව කෙනෙක්ව මට හම්බ වුණා. එයා තමයි ගැලවුම්කරු. ඇවිත් බලන්න.’ ඒ හැමෝම ළිඳ ළඟට ගිහින් යේසුස් කියන දේවල් අහගෙන හිටියා.

සමරිතානුවන් එයාලත් එක්ක නතර වෙන්න කියලා කියපු නිසා යේසුස් දවස් දෙකක්ම එයාලත් එක්ක ඉඳලා ගොඩක් දේවල් ඉගැන්නුවා. එයාලා සමරිතානු ස්ත්‍රියට කිව්වා ‘ඔහු තමයි ගැලවුම්කරු’ කියලා.

‘පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම එන්න. කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.’—එළිදරව් 22:17