Skip to content

පටුනට යන්න

79වෙනි පාඩම

යේසුස් බලවත් දේවල් කරයි

යේසුස් බලවත් දේවල් කරයි

යේසුස් පොළොවට ආවේ දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න. අනාගතයේදී යේසුස් රජ වුණාම කරන්න යන දේවල් පෙන්වන්න යෙහෝවා දෙවි බලවත් දේවල් කරන්න යේසුස්ට බලය දුන්නා. ඒ නිසා ඕනෙම ලෙඩක් සුව කරන්න ඔහුට පුළුවන් වුණා. ඔහු ගිය හැම තැනකදීම අසනීප අය යේසුස්ව හොයාගෙන ආවා. යේසුස් ඒ හැමෝවම සුව කළා. අන්ධ අයට, බිහිරි අයට, අංශභාග රෝගීන්ට, භූතාවේශ වෙලා හිටිය අයට සුවය ලැබුණා. යේසුස්ගේ ඇඳුමේ වාටිය අල්ලපු අයත් සුව වුණා. මිනිස්සු හැමෝම යේසුස් පස්සෙම ගියා. යේසුස්ට විවේකයක් ඕනෙ කියලා හිතුණු වෙලාවලදීත් ඔහු ළඟට ගිය අයව යේසුස් එලෙව්වේ නැහැ.

දවසක් යේසුස් හිටිය ගෙදරකට අංශභාග රෝගියෙක්ව ගේන්න මිනිසුන්ට ඕන වුණා. හැබැයි ඒ ගෙදර සෙනඟ පිරිලා හිටිය නිසා එයාලා වහලේ කොටසක් ගලවලයි රෝගියාව යේසුස් ළඟට ගෙනාවේ. යේසුස් එයාට කිව්වා ‘නැඟිටලා ඇවිදින්න’ කියලා. එයා ඇවිදින්න පටන්ගත්තම එතැන හිටිය හැමෝම පුදුම වුණා.

යේසුස් ගමකට යද්දී ලාදුරු රෝගීන් දහදෙනෙක් ටිකක් දුරින් ඉඳලා ‘යේසුස්, අපිට උදව් කරන්න’ කියලා කිව්වා. ඒ කාලේ මිනිසුන් ළඟට යන්න ලාදුරු රෝගීන්ට අවසර තිබුණේ නැති නිසයි එයාලා එහෙම කළේ. යේසුස් එයාලට කිව්වා දේවමාලිගාවට යන්න කියලා. මොකද යෙහෝවා දෙවිගේ නීතියේ තිබුණා සුවය ලබපු ලාදුරු රෝගීන් දේවමාලිගාවට යන්න ඕනෙ කියලා. යන අතරමඟදී එයාලට සුවය ලැබුණා. ඒ ගැන දෙවිට ප්‍රශංසා කරන්නත් යේසුස්ට ස්තුති කරන්නත් ආවේ එක් කෙනෙක් විතරයි.

අවුරුදු 12ක් අසනීපෙන් හිටිය කාන්තාවකටත් ඕනෙ වුණා කොහොම හරි සුව වෙන්න. ඉතින් එයා සෙනඟ මැද්දෙන් ගිහින් යේසුස්ගේ ඇඳුමේ වාටිය ඇල්ලුවා. ඒ වෙලාවෙම ලෙඩේ හොඳ වුණා. යේසුස් ඇහුවා ‘කවුද මාව ඇල්ලුවේ’ කියලා. බයෙන් හිටිය ඒ කාන්තාව යේසුස් ළඟට ගිහින් වෙච්ච දේ ගැන කිව්වම යේසුස් කිව්වා ‘දුවේ සමාදානයෙන් යන්න’ කියලා.

යායිරස් කියන නිලධාරියා යේසුස් ළඟට ඇවිත් කිව්වා ‘අනේ මාත් එක්ක එන්න, මගේ පුංචි දුවට සනීප නෑ’ කියලා. හැබැයි යේසුස් එහෙට යන්න කලින් දුව මැරුණා. හුඟදෙනෙක් එයාලගේ ගෙදරට ඇවිත් තිබුණා. යේසුස් එයාලට කිව්වා ‘අඬන්න එපා, දුව නිදාගෙනයි ඉන්නේ’ කියලා. ඊටපස්සේ යේසුස් දුවගේ අත අල්ලලා ‘දුවේ නැඟිටින්න’ කියලා කිව්වම දුව ඒ වෙලාවෙම නැඟිට්ටා. යේසුස් දරුවාගේ දෙමාපියන්ට කිව්වා දරුවට කන්න මොනවා හරි දෙන්න කියලා. ඒ වෙලාවේ එයාලට කොහොම හැඟෙන්න ඇද්ද!

“දෙවි ඔහුව තම බලයෙන් අභිෂේක කර ඔහුට මහත් බලයක්ද ලබා දුන්නා. ඉන්පසු යේසුස් දේශය පුරාම ගමන් කරමින් යහපත් ක්‍රියා කළ අතර යක්ෂයාගේ පීඩා හා හිරිහැරවලට ලක් වූ සියලුදෙනාටම සුවයක් ගෙන දුන්නා. ඔහු ඒ දේවල් කළේ දෙවිගේ ආශීර්වාදය ඔහුට තිබුණු නිසයි.”—ක්‍රියා 10:38