Skip to content

පටුනට යන්න

82වෙනි පාඩම

යාච්ඤා කරන්න ඕන විදිහ යේසුස් ඉගැන්නුවා

යාච්ඤා කරන්න ඕන විදිහ යේසුස් ඉගැන්නුවා

පරිසිවරු හැම දේම කළේ මිනිසුන්ට පේන්න. එයාලා යාච්ඤා කළෙත් අනිත් අයට පේන තැන්වල ඉඳන්. සිනගෝගවලත් පාරවල්වලත් එයාලා කටපාඩම් කරගත්ත දිග යාච්ඤාවන් ආයෙ ආයෙත් කිව්වා. ඒ නිසා තමයි යේසුස් කියපු මේ දේ ගැන මිනිස්සු හැමෝම පුදුම වුණේ. ‘පරිසිවරුන් වගේ යාච්ඤා කරන්න එපා. එයාලගේ යාච්ඤා ගැන දෙවි සතුටු වෙනවා කියලයි එයාලා හිතන්නේ. හැබැයි දෙවි ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. යාච්ඤා කරද්දී කතා කරන්නේ යෙහෝවා දෙවිට නිසා තනිවම යාච්ඤා කරද්දී ඒක අනිත් අයට ඇහෙන්න කියන්න ඕනෙ නැහැ. එකම දේ ආයෙ ආයේ කියන්න එපා. යෙහෝවා දෙවි කැමති ඔයාට හැඟෙන දේ දෙවිට කියනවාටයි.

‘යාච්ඤා කරන්න ඕනෙ මෙහෙමයි. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”’ ඒ වගේම කෑම, පව්වලට සමාව වගේ අපේ ජීවිතේ අනිත් දේවල් ගැන යාච්ඤා කරන්න කියලත් යේසුස් කිව්වා.

යේසුස් මෙහෙමත් කිව්වා. ‘දිගටම යාච්ඤා කරන්න. ඔයාගේ තාත්තා වන යෙහෝවා දෙවිගෙන් හොඳ දේවල් දිගටම ඉල්ලන්න. දෙමාපියන් කැමති දරුවන්ට හොඳම දේ දෙන්න. ඔයාගේ දරුවා රොටියක් ඉල්ලුවොත් ගලක් දෙනවද? මාළුවෙක්ව ඉල්ලුවොත් සර්පයෙක්ව දෙනවද?’

ඊටපස්සේ යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයාගේ දරුවන්ට හොඳ තෑගි දෙන්න ඔයා දන්නවා නම් යෙහෝවා දෙවි ඔහුගෙන් බලය ඉල්ලන අයට තමන්ගේ බලය නොදී ඉඳියිද? ඔයා කරන්න ඕනෙ දෙවිගෙන් ඉල්ලන එක විතරයි.’ ඔයාත් යාච්ඤා කරන්නේ යේසුස් උගන්වපු විදිහටද? ඔයා යාච්ඤා කරන්නේ මොනවා ගැනද?

“නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි.”—මතෙව් 7:7