Skip to content

පටුනට යන්න

84වෙනි පාඩම

යේසුස් වතුර මත ඇවිද්දා

යේසුස් වතුර මත ඇවිද්දා

අසනීප අයව සුව කරන්න, මැරුණු අයට ආයෙත් ජීවිතය දෙන්න විතරක් නෙවෙයි හුළඟ, වැස්ස පාලනය කරන්නත් යේසුස්ට පුළුවන්. යේසුස් කන්දක ඉඳන් යාච්ඤා කරලා ඉවර වුණාට පස්සේ ගලීල මුහුද දිහා බැලුවම ගලීල මුහුදට ලොකු කුණාටුවක් ඇවිත් තිබුණා. කුණාටුව නිසා නියෝජිතයන් හරිම අමාරුවෙන් ඔරුව පදිනවා දැක්කම යේසුස් ඉක්මනට පල්ලෙහාට ගිහින් වතුර උඩින් ඇවිදගෙන ඔරුව තියෙන පැත්තට ගියා. හැබැයි නියෝජිතයන් යේසුස්ව දැක්කම හොඳටම බය වුණා. ඒ නිසා යේසුස් කිව්වා ‘බය වෙන්න එපා, මේ මං’ කියලා.

එතකොට පේතෘස් කිව්වා ‘ස්වාමීනි, ඒ ඔබ නම් ඔබ ළඟට එන්න කියලා මට කියන්න’ කියලා. ‘එන්න’ කියලා යේසුස් කිව්වම පේතෘස් ඔරුවෙන් බැහැලා වතුර උඩින් ඇවිදගෙන ගියා. හැබැයි යේසුස්ට ළං වෙද්දී පේතෘස් කුණාටුව දිහා බලපු නිසා හොඳටම බය වෙලා වතුරේ ගිලෙන්න ගියා. එයා කෑගහලා කිව්වා ‘ස්වාමීනි, මාව බේරගන්න’ කියලා. ඉක්මනටම යේසුස් එයාගේ අතින් අල්ලගෙන මෙහෙම ඇහුවා. ‘ඇයි ඔයාගේ විශ්වාසය අඩු වුණේ? සැකයක් ඇති වෙන්න ඉඩ දුන්නේ ඇයි?’

ඒ දෙන්නම ඔරුවට නැග්ගාම කුණාටුව නතර වුණා. නියෝජිතයන් හැමෝම කිව්වා ‘ඇත්තටම ඔබ දෙවිගේ පුතා තමයි’ කියලා.

තවත් දවසක යේසුස් නියෝජිතයන් එක්ක ඔරුවේ ඉද්දී ලොකු කුණාටුවක් ආවා. ඒ නිසා ඔරුවත් වතුරෙන් පිරෙන්න ගත්තා. ඒ වෙලාවේ යේසුස් නිදාගෙනයි හිටියේ. හැබැයි නියෝජිතයන් යේසුස්ව කූද්දලා මෙහෙම කිව්වා. ‘ගුරුතුමෙනි, අපිට උදව් කරන්න. අපි මැරෙන්නයි යන්නේ.’ ඒ වෙලාවේ යේසුස් මුහුදට කිව්වා ‘නිශ්ශබ්ද වෙන්න’ කියලා. එතකොටම කුණාටුව නතර වුණා. ඊටපස්සේ යේසුස් නියෝජිතයන්ගෙන් ඇහුවා ‘තාමත් ඔයාලට විශ්වාසයක් නැද්ද’ කියලා. පුදුමෙන් හිටිය එයාලා කතා වුණා ‘මුහුදත් හුළඟත් මොහුට කීකරු වෙනවා’ කියලා. යේසුස්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා නම් කිසි දේකට බය වෙන්න ඕනෙ නැහැ කියන වැදගත් පාඩම එදා එයාලා ඉගෙනගත්තා.

“මෙතෙක් මා ගත කළ ජීවිතය දෙස බලද්දී යෙහෝවා දෙවිගේ යහපත්කම දැකගැනීමට මට හැකියි යන විශ්වාසය නොතිබුණේ නම්, අද මාගේ තත්වය කුමක් වේද?”—ගීතාවලිය 27:13