Skip to content

පටුනට යන්න

86වෙනි පාඩම

යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි

යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි

බෙතානියේ ජීවත් වුණු ලාසරුස් වගේම එයාගේ සහෝදරියන් වුණු මාර්තාත් මරියාත් යේසුස්ගේ හොඳ යාළුවන්. දවසක් යේසුස් යොර්දාන් ගඟෙන් එගොඩ ඉද්දී මාර්තායි මරියායි යේසුස්ට පණිවිඩයක් එවලා කිව්වා ‘අනේ ඉක්මනට එන්න, ලාසරුස්ට හොඳටම සනීප නෑ’ කියලා. හැබැයි යේසුස් ඒ වෙලාවෙම ගියේ නැහැ. දවස් දෙකකට පස්සේ යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘අපි බෙතානියට යමු. ලාසරුස් නිදි. මං යන්නේ එයාව ඇහැරවන්න.’ එතකොට නියෝජිතයන් කිව්වා ‘ලාසරුස් නිදි නම් එයාට ඉක්මනින්ම සනීප වෙයිනේ’ කියලා. ඊටපස්සේ යේසුස් පැහැදිලිවම එයාලට කිව්වා ‘ලාසරුස් මැරිලා’ කියලා.

යේසුස් බෙතානියට එද්දී ලාසරුස්ව තැන්පත් කරලා දවස් හතරක්ම ගෙවිලයි තිබුණේ. යේසුස් ඇවිත් කියලා දැනගත්තම මාර්තා දුවගෙන ගිහින් මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ මෙහේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” එතකොට යේසුස් කිව්වා ‘මාර්තා, ඔයාගේ සහෝදරයා නැවත නැඟිටියි, ඔයා ඒක විශ්වාස කරනවද’ කියලා. ‘නැවත නැඟිටීම සිද්ධ වෙන කාලෙදී එයා නැඟිටියි කියලා මට විශ්වාසයි’ කියලා මාර්තා කිව්වම යේසුස් මෙහෙම කිව්වා. “නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ මමයි.”

මාර්තා ඉක්මනින්ම ගිහින් මරියාට කිව්වා ‘යේසුස් ඇවිත්’ කියලා. ඒ වෙලාවෙම මරියා යේසුස් ළඟට දුවගෙන යද්දී ගෙදරට ඇවිත් හිටිය සෙනඟත් එයා පස්සෙන් ගියා. මරියා යේසුස් ළඟ දණින් වැටිලා අඬඅඬ කිව්වා ‘ස්වාමීනි, ඔබ මෙහේ හිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නෑනේ’ කියලා. ඒ වෙලේ යේසුස්ගේ ඇස් දෙකත් කඳුළුවලින් පිරුණා. සෙනඟ කතා වුණා ‘යේසුස් ලාසරුස්ට කොච්චර ආදරෙයිද’ කියලා. ඒත් ‘යේසුස් ඔහුගේ යාළුවාව බේරගත්තේ නැත්තේ ඇයි’ කියලා සමහර අය කල්පනා කළා.

ලාසරුස්ව තැන්පත් කරලා තිබුණු ගුහාව ළඟට යේසුස් යද්දී ඒක ගලකින් වහලයි තිබුණේ. ‘ඒ ගල අයින් කරන්න’ කියලා යේසුස් කිව්වම මාර්තා කිව්වා ‘එයා මැරිලා දවස් හතරක්ම ගෙවිලා තියෙන නිසා මිනිය ගඳ ගහනවා ඇති’ කියලා. ගල අයින් කළාම යේසුස් මෙහෙම යාච්ඤා කළා. ‘තාත්තේ, මට උත්තර දුන්නට ස්තුතියි. මං හැමෝටම ඇහෙන්න යාච්ඤා කරන්නේ මාව මෙතනට එව්වේ ඔබයි කියලා තේරුම්ගන්න ඒක මේ අයට උදව් වෙන නිසයි.’ ඊටපස්සේ යේසුස් කිව්වා “ලාසරුස්, පිටතට එන්න” කියලා. රෙදිපටිවලින් ඔතලා තිබුණු ලාසරුස් ඒ වෙලාවෙම එළියට ආවා. එතකොට යේසුස් කිව්වා ‘රෙදිපටි ලිහලා මෙයාට යන්න දෙන්න’ කියලා.

එතන හිටිය හුඟක් අය යේසුස්ව විශ්වාස කරන්න පටන්ගත්තා. හැබැයි සමහර අය ඒ ගැන පරිසිවරුන්ට කිව්වා. ඒක දැනගත්තම පරිසිවරුන්ට ඕන වුණා යේසුස්වත් ලාසරුස්වත් මරලා දාන්න. ඉතින් යේසුස්ගේ නියෝජිතයෙක් වුණු යූදස් ඉස්කාරියොත් හොරෙන්ම එයාලා ළඟට ගිහින් ඇහුවා ‘යේසුස්ව අල්ලලා දුන්නොත් මට කීයක් ගෙවනවද’ කියලා. රිදී කාසි 30ක් දෙන්න එයාලා පොරොන්දු වුණා. එදා ඉඳන් යේසුස්ව පරිසිවරුන්ට අල්ලලා දෙන්නයි යූදස් උත්සාහ කළේ.

“සැබෑ දෙවි වන ඔහු අපේ ගැලවුම්කරුය. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි අපව මරණයෙන් මුදවාගන්නේය.”—ගීතාවලිය 68:20