Skip to content

පටුනට යන්න

87වෙනි පාඩම

යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රිය

යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රිය

යුදෙව්වන් හැම අවුරුද්දකම පාස්කුව පැවැත්තුවේ නීසාන් 14වෙනිදා. යෙහෝවා දෙවි ඊජිප්තුවෙන් එයාලව ගලවගෙන පොරොන්දු දේශයට ගෙනාපු විදිහ ඒකෙන් එයාලට මතක් වුණා. ක්‍රි.ව. 33දී යේසුස් නියෝජිතයන් එක්ක යෙරුසලමේ උඩුමහලක ඉඳන් පාස්කුව සැමරුවා. කෑම කාලා ඉවර වුණාම යේසුස් කිව්වා ‘ඔයාලගෙන් එක් කෙනෙක් මාව පාවලා දෙනවා’ කියලා. එතකොට නියෝජිතයන් හැමෝම පුදුමෙන් ඇහුවා ‘ඒ කවුද’ කියලා. යේසුස් කිව්වා ‘මං මේ රොටිය දෙන කෙනා’ කියලා. ඊටපස්සේ යේසුස් යූදස් ඉස්කාරියොත්ට රොටි කෑල්ලක් දුන්නම එයා ඉක්මනින්ම එළියට ගියා.

යේසුස් යාච්ඤාවක් කියලා රොටි කඩලා ඒක නියෝජිතයන්ට දීලා මෙහෙම කිව්වා. ‘මේ රොටි කන්න. මේකෙන් නියෝජනය වෙන්නේ මං ඔයාලා වෙනුවෙන් දෙන මගේ ශරීරයයි.’ ඊටපස්සේ යේසුස් වයින් අරන් යාච්ඤා කරලා ඒකත් නියෝජිතයන්ට දීලා මෙහෙම කිව්වා. ‘මේ වයින් බොන්න. ඒකෙන් නියෝජනය වෙන්නේ ඔයාලගේ පව්වලට සමාව ලබාගන්න මං වගුරුවන රුධිරයයි. ඔයාලා මාත් එක්ක ස්වර්ගයේදී රජකම් කරනවා කියලා මං පොරොන්දු වෙනවා. හැම අවුරුද්දකම මාව සිහි කරන්න මේ දේ කරන්න.’ අදටත් යේසුස්ගේ අනුගාමිකයන් හැම අවුරුද්දකම ඒ දවසේදී ඒක සමරනවා. ඒකට කියන්නේ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කියලා.

කෑම කෑවට පස්සේ නියෝජිතයන් තමන් අතරින් වඩාත් උතුම්ම කෙනා කවුද කියන එක ගැන වාද කළා. ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයාලා අතරින් වඩාත් උතුම් කෙනා ඔයාලගේ සේවකයෙක් වෙන්න ඕනේ.

‘ඔයාලා මගේ යාළුවෝ. මගේ තාත්තා ඔයාලට කියන්න කියපු හැම දේම මං ඔයාලට කියනවා. ළඟදිම මං ස්වර්ගයේ ඉන්න මගේ තාත්තා ළඟට යනවා. ඔයාලා එකිනෙකාට ආදරෙන් සලකද්දී හැමෝම දැනගනියි ඔයාලා මගේ ගෝලයන් කියලා. මං ඔයාලට ආදරෙන් සලකපු විදිහටම ඔයාලත් අනිත් අයට ආදරෙන් සලකන්න.’

අන්තිමේදී යේසුස් තමන්ගේ ගෝලයන්ව ආරක්ෂා කරන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කළා. සාමයෙන් එකමුතුව වැඩ කරන්න එයාලට උදව් කරන්න කියලත් යේසුස් ඉල්ලුවා. දෙවිගේ නම ගැනත් යාච්ඤා කළා. ඊටපස්සේ හැමෝම යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගායනා කළා.

“කුඩා රැළ භය නොවන්න. මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.”—ලූක් 12:32